spot_img
spot_imgspot_img

ඕස්ට්‍රේලියාවට කඩුළු 10ක පහසු ජයක්

පුවත්

විදෙස්

සටන්කාමී ලකුණු සංඛ්‍යාවක් කරා යමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම විනාශ කරමින් එක් පන්දු වාරයකින් කඩුළු 03ක් දවාගත් ජොෂ් හෙසල්වුඩ්ගේ විනාශකාරී පන්දුයැවීම හේතුවෙන් විනාශ වී ගිය ශ්‍රී ලංකා ඉනිම ලකුණු 128 කට සීමා වූ අතර සංචාරක ඕස්ට්‍රේලියානුවෝ පන්දුවාර 14ක් අවසානයේ කිසිවකු නොදැවී ලකුණු 134 ක් ලබා ගනිමින් පළමු විස්සයි විස්ස තරඟයේ ජය තහවුරු කරගත්තේය.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරඟයේ දී කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියානු නායකයා පන්දු යැවීම තෝරාගත්තේය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඉතාමත් හොඳ ආරම්භයක් ලබාගත් පැතුම් නිශ්ශංක සහ ධනුෂ්ක ගුණතිලක දෙදෙනා පන්දු 26 කින් ලකුණු 36ක් එක්කළහ. වේගවත් ලකුණු 26ක් ලබා සිටි ධනුෂ්කගේ දැවීයාමෙන් පසු පිටියට පැමිණි චරිත් අසලංක, නිශ්ශංක සමඟ එක්ව ලකුණු පුවරුව 100 දක්වා ඉහළ දැමුවේය. නමුත් මිචෙල් ස්ටාක් විසින් නිස්සංක දවා ගැනීමත් සමඟ තරඟය වෙනස්වීම ඇරඹිනි.

ඒ වනවිට තරඟයේ පාලනය නතුකරගෙන සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ කුසල් මෙන්ඩිස්එක ලකුණකටත්, භානුක රාජපක්ෂ සහ දසුන් ශානක ලකුණු ලබාගැනීමට පෙරත් පිපටියෙන් ඉවත් කිරීමට ජොස් හේසල්වුඩ් සමත්වූයේය. මෙලෙස මැදපෙළ කඩාවැටීමත් සමඟ යළි ශ්‍රී ලංකා කණ්ඩායමට හිස එසවීමට අවස්ථාවක් නොදුන් ඕස්ට්‍රේලියානුවෝ පන්දු ඕවර 19.3ක දී ලකුණු 128ක සීමා කෙරිණි.

පසුගිය ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමෙන් පසු ඒරන් ෆින්ච් සහ ඩේවිඩ් වෝනර් දෙදෙනා එක්ව ඕස්ට්‍රේලියානු ඉනිම ආරම්භ කළේ ප්‍රථම වතාවටය.   ඔස්ට්‍රේලියානු ඉනිමේ පළමු පන්දුවාරය යැවූ මහේෂ් තීක්ෂණගේ පන්දුවකට ඒරන් ෆින්ච් කඩුල්ල මුවා කළා යැයි කුමාර් ධර්මසේන තීරණය කළ ද තුන්වැනි විනිසුරුවරයා විසින් එය දැවී නොයාමක් ලෙස තීරණය කෙරිිණි. එතැන් සිට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට කිසිදු අවස්ථාවක් නොදුන් ‍ආරම්භක පිතිකරුවන් දෙදෙනා ජයග්‍රහණය තෙක් ම කඩුල්ලේ රැඳී සිටියහ.

ඩේවිඩ් වෝනර් ලකුණු නොදැවී ලකුණු 70ක් ලබාගත් අතර ඔහු ශ්‍රී ලංකාවට එරෙහිව පිට පිටම තරඟ 05ක දී අර්ධ ශතක ලබාගෙන තිබීම විශේෂත්වයකි. එහි දී ඔහු දවාගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත්ව ඇත්තේ එක් අවස්ථාවක දී පමණි. එම ඉනිම් සටහන්ව ඇත්තේ 100 (නොදැවී), 60 (නොදැවී), 57 (නොදැවී), 65යි සහ 70 (නොදැවී) ලෙසිනි.

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර දෙවැනි විස්සයි 20 තරඟය අද (08) කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේ දී පැවැත්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!