21 වැනි ව්‍යවස්ථා සංශෝධනය පරාජය කර රනිල් වික්‍රමසිංහ අගමැතිධූරයෙන් නෙරපා වෙනත් අගමැතිවරයකු පත්කර ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ දී සාකච්ඡා වී තිබේ.
මේ වනවිටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ බෙදීමක් ඇති අතර පිරිසක් 21වැනි සංශෝධනයට සහය දැක්වීමටත්, තවත් පිරිසක් ඊට විරුද්ධව කටයුතු කිරීමටත් තීරණය කර ඇත.
මෙය ප්‍රධානම හේතුව වී ඇත්තේ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටි බැසිල් රාජපක්ෂ ද්විත්ව පුරවැසියකු වීම හා ද්විත්ව පුරවැසියන්ට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ අවස්ථාව අහිමිකිරීමට 21 වැනි සංශෝධනය තුළින් කටයුතු කිරීමයි. එමෙන් ම ජනාධිපතිවරයා සතුව ඇති විධායක බලය සීමා කිරීමට ද පොදු ජන පෙරමුණේ ඇතැම් පිරිස් සිය විරෝධය පළකර ඇත.
පසුගිය අයවැය ඉදිරිපත් කිරීමේ දී ව්‍යාජ ආදායම් පෙන්වමින් ආර්ථිකය වැනසීමේ ක්‍රියාවලියට සෘජුව දායක වූ බැසිල් රාජපක්ෂගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය අභියෝගයට ලක්වන ව්‍යවස්ථා සංශෝධනයට සහය දිය යුතුයැයි ඔහුගේ ම පක්ෂයේ පිරිසකගේ මතය වී ඇත.
කෙසේ වෙතත් මේ වනවිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පරාජය කර නව අගමැතිවරයකු පත්කිරීම ගැන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ අභ්‍යන්තර සාකච්ඡා ඇතිවෙමින් පවතී.
පසුගිය 26 වැනි දා ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ එම පක්ෂ කාර්යාලයේ පැවැති සාකච්ඡාවකට මන්ත්‍රීවරු 21 දෙනකු සහභාගී වී ඇති අතර ඔවුන්ගේ මතය වී ඇත්තේ මෙම ව්‍යවස්ථා සංශෝධනය පරාජය කළ යුතු බවයි.
රට පුරා ඇතිවූ උද්ඝෝෂණ රැල්ලේ ප්‍රධාන ඉල්ලීමක් වූයේ රටේ ආර්ථිකය රාජපක්ෂ පවුල වටා කේන්ද්‍රගතවීම ආර්ථික අර්බුදයකට හේතුවක් වූ බැවින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සහ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ සිය ධූරවලින් ඉල්ලා අස්වීම හැර වෙනත් විකල්පයක් නොමැති බවයි.
හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ඉල්ලා අස්වුව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්වූයේ නැත. මේ අතර 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිවරයාගේ බලතල සීමා කර ව්‍යවස්ථාධායකය බලවත් කිරීමටත්, ස්වාධීන කොමිෂන් සභා යළි බලාත්මක කිරීම සහ රාජ්‍ය විගණනය ඇතිකිරීම යන යෝජනා හේතුවෙන් රටේ උද්ඝෝෂණ රැල්ල තරමක් සමනය වී ගියේය.
මේ අතර සෑම ක්ෂේත්‍රයක් ම 21 වැනි සංශෝධනය සාර්ථක වනු ඇතැයි අපේක්ෂාවෙන් සිටියි.
එසේ වුව ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පවසන්නේ මේ අවස්ථාවේ ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය නොවන බවයි. ජනතා ප්‍රශ්න විසඳීම කෙරෙහි වැඩි අවධානයක් යොමුකළ යුතුයැයි ඔහු කියයි.