ශ්‍රී ලංකාව ජෛව විවිධත්වය ලොව වෙනත් කිසිදු රටකට දෙවැනි නොවන තත්වයක ඇතැයි පර්යේෂණ රැසකින් තහවරු කළ ආචාර්ය රොහාන් පෙතියගොඩට ස්වභාව විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය ලෙසින් හැඳින්වෙන “ලීනියස් පදක්කම” හිමිව තිබේ.
ලන්ඩනයේ ලීසියන් සමාජය විසින් ලෝකයේ විශිෂ්ඨ ශාක සහ සත්ව විද්‍යාඥයන් වෙනුවෙන් මෙම සම්මානය පිරිනමනු ලබයි. 1888 වර්ෂයේ සිට එය පිරිනැමීම සිදුකළ ද ශ්‍රී ලාංකිකයකුට එය හිමිවූ පළමු අවස්ථාව මෙය වන අතර ආසියාවේ දෙවැනියා ද වෙයි.
ආචාර්ය පී.ඊ.පී. දැරණියගල මෙරට ස්වභාව විද්‍යා ක්ෂේත්‍රයට අනූපමේය සේවයක් කළ පර්යේෂකයකු වන අතර ඔහුගෙන් පසු රොහාන් පෙතියගොඩ සිදුකරන ලද සේවය සත්ව විද්‍යා ක්ෂේත්‍රයේ සියලු දෙනාගේ සම්භාවනාවට පාත්‍රවූවකි.
ලෝකයේ ජෛව විවිධත්වය සැළකූ විට ශ්‍රී ලංකාව ලොව ජෛව විවිධත්ව උණුසුම් ස්ථානයක් (Hots Pot) ලෙස නම් කිරීමට ඔහුගේ පර්යේෂණ රැසක් ඉවහල් වී තිබේ
1992 වර්ෂයේ දී වනජීවී සංරක්ෂණ භාරය ආරම්භ කරමින් පර්යේෂණ රැසක් සිදුකළ රොහාන් පෙතියගොඩ ඒ වනවිට මෙරට දී හඳුනාගෙන තිබූ මිරිදිය මත්ස්‍යයන් සංඛ්‍යාව 30 සිට 100ට ආසන්න සංඛ්‍යාවක් දක්වා ඉහළ දැමීමට සමත්වූයේය.
එමෙන් ම ඔහු විසින් මෙරට මිරිදිය කකුළුවන් පිළිබඳ පර්යේෂණ රැසක් සිදුකර ඇති අතර ශ්‍රී ලංකාවේ වාර්තාවන මිරිදිය කකුළුවන් අතරින් 99% කම ආවේණික විශේෂ බව ද විද්‍යාත්මකව තහවරු කර තිබේ.
ශ්‍රී ලංකාවේ සත්ව වර්ගීකරණයට ඔහුගේ පර්යේෂණ මහත් දායකත්වයක් වූ අතර මෙරට ජීවත්වන උභයජීවී විශේෂ සම්බන්ධයෙන් ද හෙතෙම දීර්ඝ පර්යේෂණ රැසක් සිදුකර තිබේ. ආගරපතන ප්‍රදේශයේ සත්ව විද්‍යා පර්යේෂණ ආයතනයක් බිහිකරමින් ශ්‍රි ලංකාවේ ස්වභාව විද්‍යා පර්යේෂණ සඳහා විදේශීය විද්‍යාඥයන්ට ද අවස්ථා ලබාදුන් රොහාන් පෙතියගොඩ මාධව මීගස්කුඹුර, මොහොමඩ් බාහීර්, කළණ මාදුවගේ, අංජන ද සිල්වා වැනි පර්යේෂකයන් පරපුරක් බිහිකිරීමට ද කටයුතු කළේය.
පර්යේෂකයකු, පර්යේෂණ ක්ෂේත්‍රයේ නියැළෙන්නන් සදහා අපූරු ගුරුවරයකු සහ මඟ පෙන්වන්නකු වූ රොහාන් පෙතියගොඩ විසින් පර්යේෂණ ග්‍රන්ථ රැසක් ද ප්‍රකාශයට පත්කර තිබේ. එමෙන්ම ඔහු ජාත්‍යන්තර රතු දත්ත කමිටුවේ නියෝජ්‍ය සභාපතිවරයා ලෙස ද කටයුතු කර තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජීව වෛද්‍ය ඉංජිනේරු අංශයේ සහ ජල සම්පත් හා ජලාපවාහන මණ්ඩලයේ ද සේවය කර ඇති පෙතියාගොඩ ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කළේය එමෙන් ම ඔහු ඕස්ට්‍රේලියාවේ සිඩ්නි කෞතුකාගාරයේ පර්යේෂකයකු ද වෙයි