-5.2 C
New York

සිසුවකුට විභාගය අහිමිකළ, අම්බලන්ගොඩ පොලිසිය

Published:

මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි විෂයයට පෙනී සිටින තරුණයකු විභාගයට පෙර දින (මැයි 26) අත්අඩංගුවට ගෙන විභාගය පැවැත්වෙන 27 වැනි දින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අම්බලන්ගොඩ පොලිසිය එම තරුණයාගේ මූලික අයිවාසිකම් කඩකර ඇතැයි බලපිටියේ නීතිඥවරු පිරිසක් කියති.

බලපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති සමන් ද සිල්වාගේ නිවසට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පෝල් දනිඳු පතිරත්න ද සිල්වා නමැති තරුණයෙකි.

පොලිසිය ඔහුව අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී විභාග දෙපාර්තමේන්තුවෙන් ලැබී තිබුණු විභාග අයදුම්පත්‍රය ද පෙන්වා විභාගයට ලිවීමෙන් පසු පොලිසියට භාර වෙන්නම් යැයි කීව ද පොලිසිය ඔහු අත්අඩංගුවට ගෙන රැගෙන ගොස් තිබූ බව නීතිඥවරු කියති. බන්ධනාගාරගතව සිටින අයට පවා විභාගවලට ඉදිරිපත්වීමට අවස්ථාව දෙන රටක සැකකරුවකු වූ එම තරුණයාට විභාගය පෙනී සිටීමේ අවස්ථාව අහිමිකිරීම බරපතල වරදක් බව ද නීතිඥ කමල් සොයිසා පවසයි.

මෙම තරුණයා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදා හැරීමට බලපිටිය මහේස්ත්‍රාත් හංසදේව සමරදිවාකර කටයුතු කළේය.

නීතිය හැදෑරීම සඳහා සුදුසුකම් ලැබීමට සාමාන්‍යපෙළ ඉංග්‍රීසි විෂයයට සම්මාන සාමාර්ථයක් අවශ්‍ය බැවින් ඔහු මෙලෙස ඉංග්‍රීසි භාෂාවට පෙනී සිටීමට සූදානම්ව සිටි බව ද අධිකරණයේ දී අනාවරණය විය.

(අනුරාධ ප්‍රියදර්ශන)

Related articles

Recent articles

spot_img