අත්‍යාවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය උපකරණන මිල දී ගැනීමට, වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට වැටුප් ගෙගවීමට මුදල් නැතත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු ඉහළ නිලධාරීන් 05 දෙනකු මේ වනවිට ජිනීවා නුවර සංචාරයක නිරතව සිටියි.
ඔවුන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ 75 වැනි සංවත්සරය වෙනුවෙන් පැවැත්වෙන සමුළුවට සහභාගීවීම සඳහා මෙලෙස ජිනීවා ගොස් සිටියි.
එසේ වුව ද මීට සති කිහිපයකට පෙර මුදල් අමාත්‍යාංශය විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරමින් කියා සිටියෙ සියලු රාජ්‍ය නිලධාරීන්ගේ විදේශ සංචාර, විදේශ පුහුණු වැඩසටහන් ආදිය අවලංගු කරන බවයි.
මෙම සංචාරය සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය එස්.ශ්‍රීධරන්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය එල්.සී.සෝමතුංග, අතිරේක ලේකම් එස්. ද අල්විස් සහ අධ්‍යක්ෂ (ජාත්‍යන්තර සෞඛ්‍ය) වෛද්‍ය එස්.එස්.දොලමුල්ල යන නිලධාරීන් 05 දෙන සහභාගී වී සිටිති.
ඔවුන් පිරිස පසුගිය මැයි 20 වැනි දා මෙලෙස විදේශ ගත වී ඇති අතර අද (27) දක්වා ම එහි රැඳී සිටියි.
වාර්තාවන පරිදි ඔවුන් ජිනීවා දක්වා ගොස් ඇත්තේ ගුවන් යානයේ සුඛෝපභෝගී අංශය රජයේ මුදලින් වෙන්කරගනිිමිනි. එමෙන් ම ඔවුන්‍ගෙන් එක් අයකුට කිලෝ ග්‍රෑම් 40 දක්වා භාණ්ඩ රැගෙන ඒම සඳහා අවශ්‍ය මුදල් ද අමාත්‍යාංශය මගින් අනුමත කර ඇතැයි වාර්තා වේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහා හිඟ ඖෂධ සහ වෛද්‍ය උපකරණ ලේඛනයක් ඉල්ලා සිටිය ද එය ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මෙතෙක් උනන්දු වී නැතැයිි ද අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි. මේ අතර සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ද පසුගිය දා කියා සිටියේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්ට ඖෂධ සහ උපකරණ හිඟය මඟහරවා ගැනීමෙ උනන්දුව පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බවයි.
එමෙන් ම දැනට විදේශ පුහුණුව සඳහා විදෙස්රටවලට යන වෛද්‍යවරුන්ට අදාල ගෙවීම් නොකරන බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් දැනුම් දී තිබේ. මීට අමතරව ප්‍රාදේශීය පිහිටි රෝහල් සඳහා හිඟ ඖෂධ පුද්ගලික සමාගම්වලින් ලබා ගැනීමේ අවස්ථාව ද මුදල් නොමැති බව කියමින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ම අවහිර කර තිබේ.
මෙවැනි වතාවරණයක් තුළ ආර්ථික අර්බුදය හමුවේ විදෙස් සංචාරවල නොයෙදෙන ලෙස දැනුම් දී තිබිය දී නිලධාරීන් මෙලෙස රට සවාරි යාම පිළිබඳ සෞඛ්‍ය අංශවල සේවක සේවිකාවෝ පසුවන්නේ දැඩි පිළිකුලකිනි.
මෙම ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් අගතියට පත්වන පාර්ශවයක් සිටීනම් ඔවුන්ගේ පැහැදිළිකිරීම් ද මේ හා සමාන ඉඩක් ලබාදෙමින් පළකිරීමට අපි බැඳී සිටින්නෙමු.
