සෙනගාලයේ බටහිර ටිවාවුනේ නගරයේ රෝහලක ඇතිවූ ගින්නකින් අලුත උපන් බිළිඳුන් 11 දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. රෝහගේ මාතෘ අංශයේ හටගත් ගින්න විදුලි කාන්දුවක් හේතුවෙන් සිදුවූවක් බව මූලික වාර්තා පෙන්වා දෙයි.
ගින්නෙන් බිළිඳුන් තිදෙනෙකු බේරා ගත් බව නගරයේ නගරාධිපති ඩෙම්බා ඩියෝප් සයි පැවසීය.
ගින්න ඉතා ඉක්මනින් පැතිර ගිය අතර හදිසි සේවා තවමත් එම ස්ථානයේ පවතින බව සයි මහතා ප්‍රාදේශීය මාධ්‍ය වෙත පැවසීය.
ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා උපුටා දක්වමින් AFP පුවත් සේවය පවසන්නේ මෙම රෝහල අළුතින් විවෘත කළ එකක් බවයි.
“මියගිය බිලිඳුන්ගේ මව්වරුන්ට සහ ඔවුන්ගේ පවුල්වලට, මම මගේ බලවත් සංවේගය ප්‍රකාශ කරමි,” ජනාධිපති සෝල් ට්විටර් පණිවුඩයකින් පවසා තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ රැස්වීමකට සහභාගී වෙමින් සිටි සෙනගල් සෞඛ්‍ය අමාත්‍යවරයා ජිනීවා සිට පැවසුවේ “මෙම තත්වය ඉතා අවාසනාවන්ත සහ අතිශය වේදනාකාරී” බවයි. පරීක්ෂණයක් සිදුවෙමින් පවතින බවත්, වහාම සෙනගල් වෙත ආපසු යාමට ඔහුගේ සංචාරය කෙටි කරන බවත් ඔහු පැවසීය.
මෙම සිද්ධිය පාදක කරගනිමින්, රටේ සෞඛ්‍ය සේවාවල තත්ත්වය පිළිබඳව සමාජ මාධ්‍යයේ කෝපය එල්ලවී තිබේ. විපක්ෂ මන්ත්‍රීවරුන් ද රජය විවේචනය කරමින් ට්විටර් පණිවුඩ නිකුත් කර ඇත.
“වැරදිකරුවන්ට දඬුවම් කිරීමට ස්වාධීන විමර්ශන කොමිසමක්” පිහිටුවන ලෙස අයිතිවාසිකම් කණ්ඩායම් ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනයෙන් ඉල්ලා ඇත. පසුගිය වසරේ උතුරු දිග නගරයක මෙවැනිම සිදුවීමකින් පසු සෙනගල්හි සියලුම නව-උපත් වාට්ටු පරීක්ෂා කරන ලෙස ඇම්නෙස්ටි ඉල්ලා සිටියේය.
රෝහලක මාතෘ වාට්ටුවක ඇති වූ ගින්නකින් අලුත උපන් බිළිඳුන් සිව් දෙනෙකු එහිදී මිය ගොස් තිබිණ. එම අවස්ථාවේදී නගරාධිපතිවරයා පැවසුවේ මාතෘ වාට්ටුවේ වායු සමීකරණ ඒකකයේ විදුලි සැපයුමේ දෝෂයක් පවතින බවයි.