spot_img
spot_imgspot_img

බෝට්ටුව පෙරළී මියන්මාර සරණාගතයින් මරුට

පුවත්

විදෙස්

රෝහින්ග්‍යා සරණාගතයින් 90 දෙනෙකු පමණ රැගත් බෝට්ටුවක් මියන්මාර වෙරළට ඔබ්බෙන් පෙරලී ගොස් ගිලී යාමෙන් දුසිම් ගණනක් මිය ගොස් හෝ අතුරුදහන් වී ඇති බව මාධ්‍ය වාර්තා කරයි. සති අන්තයේ ඇතිවූ අයහපත් කාලගුණය හේතුවෙන් මෙම අනතුර සිදුව තිබේ. මියගිය අය අතර ළමුන් ද සිටිති.

මියන්මාරයේ අයෙයාවඩි කලාපයේදී මෙම බෝට්ටුව ගිලී ගොස් ඇති අතර බලධාරීන් විසින් දිවි ගලවා ගත් 20කට අධික පිරිසක් රඳවාගෙන ඇති බව, එරට මාධ්‍ය වාර්තා කළේය.

දිවි ගලවා ගත් අයට අනුව, මැලේසියාව බලා යාත්‍රා කළ බෝට්ටුව, මැයි 19 වන දින මියන්මාරයේ රඛයින් ප්‍රාන්තයේ සිට්වේ සිට පිටත් වී දින කිහිපයක් ඇතුළත ගැටලුවකට මුහුණ දුන් බව පැවසේ. මේ වන විට අවම වශයෙන් මළ සිරුරු 14 ක් සොයා ගෙන ඇති නමුත් 50 කට වැඩි පිරිසක් තවමත් අතුරුදහන් වී ඇති බව රේඩියෝ ෆ්‍රී ඒෂියා පැවසීය.

මෙම ඛේදවාචකය පිළිබඳව අදහස් දැක්වීම සඳහා කරන ලද ඉල්ලීමකට හමුදා ආන්ඩුවේ ප්‍රකාශකයෙකු ප්‍රතිචාර දැක්වූයේ නැත.

මිලිටරි පාලනයේ දිගු ඉතිහාසයක් ඇති ප්‍රධාන වශයෙන් බෞද්ධ රටක් වන මියන්මාරයේ මේ වනවිට ඉතිරිව ඇත්තේ රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් 600,000 ක් පමණ ප්‍රමාණයකි. මියන්මාරය විසින් රෝහින්ග්‍යා වැසියන්ගේ පුරවැසි භාවය අහෝසිකර ඇත. අතීතයේ සිදුකළ ජනවාර්ගික ප්‍රචණ්ඩත්වය සහ හිංසා පීඩා හේතුවෙන් ඔවුන්ගෙන් 148,000ක් අවතැන්ව සිටින අතර බොහෝ අය කඳවුරුවල ජීවත් වන බව එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් (UNHCR) කාර්යාලය ගණන් බලා ඇත.

730,000 කට වැඩි රෝහින්ග්‍යාවරු 2017 දී බංගලාදේශයට පලා ගියේ හමුදාව විසින් මෙහෙයවන ලද මර්දනයකින් බේරීම සඳහා වන අතර, එක්සත් ජාතීන්ගේ විමර්ශකයින් පවසන්නේ එය, ” ජනඝාතක චේතනාවෙන්” සිදු කරන ලද අතර සමූහ ඝාතන සහ ස්ත්‍රී දූෂණ ද ඇතුළත් බවයි. මියන්මාරය රෝහින්ග්‍යා සටන්කාමීන්ගේ ප්‍රහාරවලට ප්‍රතිචාරයක් ලෙස ප්‍රචණ්ඩත්වය ඇති කළ බව පවසමින් සාහසික ක්‍රියා ප්‍රතික්ෂේප කළේය.

රෝහින්ග්‍යා සරණාගතයින් සඳහා වන අනෙක් ප්‍රධාන ගමනාන්තය වන මැලේසියාව, මුස්ලිම් බහුතරයක් සිටින රටක් වන අතර, ඔවුන් සරණාගතයින් ලෙස නිල වශයෙන් පිළි නොගත්තද, අනුකම්පාව දක්වන රටක් ලෙස සැලකේ.

මෙම වසරේ ජනවාරි සිට මැයි දක්වා කාලය තුළ රොහින්ග්‍යාවරුන් 630ක් පමණ බෙංගාල බොක්ක හරහා මුහුදු මාර්ග ඔස්සේ ගමන් කිරීමට උත්සාහ කර ඇති බව UNHCR ප්‍රකාශ කළේය. ඔවුන්ගෙන් 60%ක් කාන්තාවන් සහ ළමුන් වෙයි.

“අලුත්ම ඛේදවාචකය මගින්, මියන්මාරයේ රෝහින්ග්‍යා වැසියන්ට දැනෙන මංමුලා සහගත හැඟීම නැවත වරක් පෙන්නුම් කරයි” යනුවෙන් UNHCR හි ආසියා සහ පැසිෆික් කලාපීය අධ්‍යක්ෂ ඉන්ද්‍රිකා රත්වත්තේ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.

https://www.reuters.com/world/asia-pacific/rohingya-refugee-boat-sinks-off-myanmar-dozens-dead-or-missing-media-2022-05-24/

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!