මේ නිලධාරින් සමඟ අර්බුදය විසඳීමට නොහැකි යැයි පාර්ලිම්න්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.
ඔහු මේ බව කියා සිටියේ අද (23) කොළඹ දී මාධ්‍ය හමුවක් පවත්වමිනි.
චම්පික රණවක පවසන්‍නේ ස්වාධීනව කටයුතු කරන පිරිසක් අමාත්‍යාංශ ලේකම් තනතුරු සඳහා පත්කළ යුතු බවයි.
“අපි යෝජනා කළා සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට, ඒ වගේ ම ආර්ථික දේශපාලනමය වැඩපිළිවෙලකට එකඟ විය යුතුයි. අපි යෝජනා කළේ අමාත්‍යාංශ අධීක්ෂණ සභාවක් පත්කරන්න කියලා. අමාත්‍යාංශ 20ක් ස්ථාපිත කරලා මන්ත්‍රීවරු 12 දෙනා බැගින් එම අමාත්‍යාංශවලට සම්බන්ධ කරගෙන කවුරුත් එකතුවෙලා මේ අර්බුදය විසඳන්න කටයුතු කරන්න අවශ්‍ය වෙනවා.” යැයි ද හෙතෙම වැඩිදුරටත් කීවේය.
මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ ගෑස් අර්බුදයට ලිට්‍රෝ සමාගමේ නිලධාරීන් සම්පූර්ණයෙන් ම වගකිව යුතු බවයි. ගෑස් ටැංකි ලක්ෂ 40ක හිඟයක් පවතිද්දී ගෑස් ටැංකි 50,000ක් 80,000ක් දෙන්න පැය 12ක් වැඩ කිරීමෙන් නොහැකි යැයි ඔහු පෙන්වවා දෙයි.
“ගෑස් සැපයීමේ ටෙන්ඩර් සඳහා Term Tender කියන දිගු කාලීන සැපයුම පෙබරවාරි මාසයේ අවසන් වෙනවා. පසුගිය අවුරුද්දේ ඔක්තෝබර් මාසයේ තමයි ඒකට අවශ්‍ය ටෙන්ඩර් කටයුතු කරන්න ඕනෑ. නමුත් ඒක තවමත් ගෙනවිත් නෑ. ඔවුන් සතුව ඩොලර් මිලියන 50ක් තිබුණා. අද එළියේ තියෙන ගෑස් නැව් ඔක්කොම ඒ මුදලින් මිල දී ගන්න තිබුණා. නමුත් මොකද්ද ඒ සල්ලිවලට කළේ. ඒ සල්ලි ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කරවලට දාලා දැන් ලංකා බැංකුව හරහා ඒක ගන්න බැරුව ඉන්නවා. ඒ සල්ලි තිබුණා නම් මේ වගේ හිඟමනේ යන්න ඕනෑ නෑ. අද ඩොලර් මිලියන 5-6ක් නැතිව රට වටේ හිඟාකනවා.”
පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසන්නේ කබ්රාල් පන්නයේ පත්වීම්වලට මේ අර්බුද විසඳිය නොහැකි බවයි.
ස්වාධීන වැදගත් වෘත්තිකයන් පිරිසක් අමාත්‍යාංශ ලේකම් ධූරවලට සහ විශේෂයෙන් ම මේ අර්බුදයට පත්ව තිබෙන ආයතනවලට පත්කළ යුතු යැයි මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය. එවිට මෙය සර්ව පාක්ෂික ආණ්ඩුවක් බවට පත්වී ජාත්‍යන්තර ප්‍රජාවට ශ්‍රී ලංකාව පිළිබඳ විශ්වාසයක් ඇතිවේවි.