“කොළඹ ආසාදිතයන් 1150ක් හමුවුණේ නගර සභාවට” – රෝසි

0
170

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ පසුගිය දින 09ක කාලයේ දී කරන ලද පීසීආර් පරීක්ෂණවලින් ආසාදිතයන් 1150ක් පමණ හඳුනාගෙන ඇතැයි නගරාධිපතිනි රෝසි සේනානයක පවසයි.

කොළඹ නගර සභාවේ කොරෝනා තත්ත්වය පිළිබඳ දැනුම්වත් කිරීම සඳහා කැඳවා තිබූ මාධ්‍ය සාකච්ඡාවක දී ඇය මේ බව ප්‍රකාශ කළාය.

නගරාධිපතිනිය වැඩිදුරටත් කියා සිටියේ මිනුවන්ගොඩ ආසාදිතයන් හමුවූ දිනයේ සිට කොළඹ මහ නගර සභාවේ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් නරගයේ ස්ථාන රැසක අහඹු ලෙස පීසීආර් පරීක්ෂණ පැවැත්වූ බවයි. එලෙස පැවැත්වූ පීසීආර් පරීක්ෂණවලින් හමුවූ රෝගීන් ගෙන් 956ක් පසුගිය සතියක කාලයක් තුළ හමුවූ බවත් ඊයේ (27) තවත් ආසදිතයන් 194ක් හමුවීමෙන් සමස්ථ අසාදිතයන් සංඛ්‍යාව 1150ක් වී ඇතැයි නගරාධිතිනිය පවසයි

“ පෑලියගොඩ මාළු වෙළෙඳ සංකීර්ණයේ වෙළෙඳාමේ යෙදෙන සහ සේවා සපයන වැඩිම පිරිසක් ඉන්නේ කොළඹ මහ නගර සභා සීමාවේ පදිංචිකරුවන්. මේ නිසා අපි අහඹු පරීක්ෂණ කළා. මේ විදියට කරපු පරීක්ෂණවලින් ආසාදිත බව තහවුරු වූ අය අතර දිනකට 300ක් පමණ සිටි අවස්ථා ද තිබුණා. පසුගිය සතියේ පමණක් අපේ නගර සභාවෙන් පීසීආර් පරීක්ෂණ 5376ක් සිදුකර තිබුණා. මේ දත්ත බැලුවම කරපු පීසීආර් පරීඛෟෂණවලින් සියයට 32-35ත් අතර ප්‍රමාණයක් පොසිටිව් වෙනවා. අපේ සෞඛ්‍ය අංශය සමඟ සාකච්ඡා කළාම පෙනීගිය කරුණක් තමයි එක ආසාදිතයකුගේ ආශ්‍රියන් පරීක්ෂා කළාම තවත් තුන්දෙනෙක් විතර සොයාගන්න හැකි වනවා. මෙය ඉතාමත් භයානක තත්ත්වයක්.”

රෝසි සේනානායක නගරාධිපතිනිය පවසන්නේ සෑම දිනකම පැය 24 ම පීසීආර් පරීක්ෂණ පැවැත්වීම සඳහා කොළඹ මහ නගර සභාවේ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය කටයුතු කරන බවයි. ආසාදිත බව තහවුරු කරගන්නා අය වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඉක්මණින් ම යොමු කරන බවත් ආශ්‍රිතයන් බස් රථ තුනක් යොදාගනිමින් නිරෝධායනය සදහා යොමුකරන බවත් ඇය පවසයි.

මෙහි දී නගරාධිපතිනිය තමන් මුහුණ දුන් අත්දැකීමක් ද විස්තර කළාය.

“ රජය කොතරම් නීති දැම්මත්, ඒවාට දඬුවම් දෙනවා කිව්වත් මුඛ ආවරණ පවා පළඳින්නේ නැති අය ඉන්නවා. මම බැංකුවකට ගිය අවස්ථාවේ එහි ආරක්ෂකයා මුඛ ආවරණය දාලා හිටියේ නැහැ. මම එයාට වරද පෙන්වාදීලා අලුතෙන් එකක් දෙන්න හදනවිට මගේ ගාව තියෙනවා කියලා සාක්කුවෙන් අරගෙන දාගත්තා. මාස්ක් තියෙන්නේ සාක්කුවේ දාගෙන ඉන්න නෙවෙයි. මුහුණට දාගන්න. වැඩි දෙනෙකුට මේ රෝගයේ බරපතල කම තේරෙන්නේ නැහැ.”

එම මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුණි මහතා කියා සිටියේ මුළින්ම වාර්තා වූයේ රෝගීන් 337ක් පමණක් බවයි. ඉන් පසු ඔවුන්ගේ ආශ්‍රිතයන් ද හඹා යමින් කරන ලද පීසීආර් පරීක්ෂණවලින් ඔවුන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් 850ක් සොයාගත් බවත් ඔහු පැවසීය. මේ පිරිසි සොයා ගැනීමට ප්‍රමාදවූවා නම් තත්ත්වය තවත් බරපතල බව ද වෛද්‍ය විජයමුණි මහතා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here