spot_img
spot_imgspot_img

පියතුමාට පහරදුන්, සභාපතිගේ නිවාස ගිනි තැබූ අය අධිකරණයට

පුවත්

විදෙස්

“මහජන කැළඹීම් ඇතිවන්නේ පියතුමකුට එළව එළවා පහර දුන් සභාපතිවරයා අත්අඩංගුවට නොගැනීම හේතුවෙන්” යැයි බද්දේගම වැඩබලන මහේස්ත්‍රාත් ප්‍රියංකර ලියනගේ ඉදිරියේ අද (21) නීතිඥවරු ගෝනාපීනුවල පොලිසියේ නිලධාරීන්ට කීහ.

නීතිඥවරුන් මේ බව කියා සිටියේ පසුගිය 09 වැනි දා කතෝලික පූජකයකුට එළව එළලවා පොල්ලකින් පහරදුන් අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපපති පුෂ්පලාල් කුමාරසිංහගේ නිවාස දෙකකට හානි කළ බවට සැකපිට පුද්ගලයන් 04 දෙනකු අත්අඩංගුවට ගෙන පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී ය.

පොලිසිය එම සැකකරුවන්ට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කරමින් ඇප ලබාදෙන්නේ නම් මහජන කැළඹීමක් ඇතිවි හැකියැයි කියා සිටියේය. එම අවස්ථාවේ නීතිඥවරු පෙන්වාදුන්නේ මහජන කැළඹීම් ඇතිවන්නේ නිවාසවලට හානිකළ පුද්ලයන්ට ඇපදීමෙන් නොව ‍පොලිසිය විසින් සභාපතිවරයා අත්අඩංගුවට නොගෙන සිටීමෙන් බවයි.

ගෝනාපීනුවල පොලිසිය අද (21) තරුණයන් 04 දෙනකු අධිකරණයට ඉදිරිපත් කර තිබිණි. සභාපතිවරයාගේ නිවාස දෙකකට හානි කළායැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය තමන් පිළිබඳ සොයන බව දැනගැනීමෙන් අනතුරුව ඔවුන් පොලිසියට භාර වූ අවස්ථාවේ දී එම සිව්දෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

මෙම සැකකරුවන්ට එරෙහිව සාක්ෂි තිබේදැයි වැඩබලන මහේස්ත්‍රාත්වරයා විමසූ විට පොලිසිය කියා සිටියේ ඇසින්දුටු සාක්ෂි ඇති බවයි. එම පහරදීම සඳහා පුද්ගලයන් 500ක් පමණ පැමිණ ඇති බවත් ඒ අය අතර මොවුන් සිව්දෙනා සිටින බව දැක ඇති බැවින් ඔවුන් හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙස ද පොලිසිය කියා තිබිණි.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් කියා සිටියේ ඔවුන් එම ස්ථානයට ගිය ද කිසිදු පහරදීමක් හෝ අලාභහානියක් කර නැති බවයි. එමෙන්ම විශාල පිරිසක් සිටි අවස්ථාවක මොවුන් සිව්දෙනා පමණක් හඳුනාගැනීමට හැකි බව පවසමින් හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදරිපත් කිරීම පිළිබඳව ද නීතිඥවරු විරෝධතාව පළ කළහ.

සැකකරුවන්ට ඇප ලබා දෙන්නේ නම් ඔවුන් ඉදිරියේ දී අධිකරණය මඟහැරිය හැකි බව ද පොලිසිය කියා සිටියේය. නමුත්, මේ සැකකරුවන් සිව්දෙනා පොලිසියට භාර වූ අය බැවින් එලෙස මඟහැරීමට කිසිදු හේතුවක් නැති බව ද නීතිඥවරු කීහ.

‍ඉදිරිපත් වූ කරුණු සළකා බැලූ බද්දේගම වැඩබලන මහේස්ත්‍රාත් ප්‍රියංකර ලියනගේ සැකකරුවන් සිව් දෙනා රුපියල් 50,000.00 බැගින් වූ පොලිස් ඇප මත මුදාහරින ලෙස නියෝග කළේය.

‍සැකකරුවන් වෙනුවෙන් නීතිඥ තුසිත ජාගොඩ සහ නීතිඥ චතුරංග අමරතුංග පෙනී සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!