-5.9 C
New York

ගෝඨාගෝ ගමට යැයි කියමින් සල්ලි එකතුකරන හොරුන්ට රැවටෙන්න එපා

Published:

ගෝඨාගෝ ගම අරගලයේ නිරත පුද්ගලයන්ට කෑම ලබාදීමට යැයි කියමින් ආධාර ඉල්ලන පුද්ගලයකු අද rata.lk අප කාර්යාල පරිශ්‍රයට පැමිණියේය.

එම පුද්ගලයා අපගේ පරිශ්‍රයේ සිදුවන කාර්යයන් ගැන දන්නේ නැත. ඔහු කියා සිටියේ තමන් විශ්වවිද්‍යාල සිසුවකු බවයි. ඔහු එක දිගට කටපාඩම් කරගත් ආකාරයේ දේශනයක් කරගෙන ගිය අතර අප සමඟ සංවාදයේ යෙදී සිටිය දී උග්‍ර ජාතිවාදී අදහස් ද මතුකළේය.

මෙම ස්ථානයෙන් එපිට ඇති නිවාස ගැන විමසූ ඔහු එහි සිටින්නේ “අපේ අයදැයි” විමසා සිටියේය. අපේ අය යනු කවුරුන්දැයි අප විමසූ විට

“සිංහල අයද ඉන්නේ, මුස්ලිම් අයනම් වැඩක් නෑ” යනුවෙන් ප්‍රකාශ කළේය. .

“අපි හැමොම ශ්‍රී ලාංකිකයෝ, මේ අරගලයේ දී සිංහල, දෙමළ , මුස්ලිම් කියලා වෙනසක් නෑනේ”

“නෑ. මුස්ලිම් අය ඉන්න පැතිවලට ගියාම සල්ලි දෙන්නේ නෑ. අපිට ඕනෑ සල්ලි ටිකක් හොයාගන්න. ගෝඨා ගෝ ගම වැඩ තියෙනවා. එතන ඉන්න අයට කන්න නෑ.”

“ඔයා කියන්නේ ගාල්ලේ ගෝඨාගෝ ගම ගැන ද ? නැත්නම් කොළඹ ගෝඨා ගෝ ගම ද ?”

“ගාල්ලේ එක ගැනනම් මම දන්නේ නෑ. මම කියන්නේ කොළඹ ගෝඨාගෝ ගම ගැන. අපි එතන සටන කරන්නේ ඔයාලා වෙනුවෙන්” යැයි ඔහු කීවේය.

මේ පුද්ගලයා අපට බරපතල ප්‍රශ්නාර්ථ කිහිපයක් ඉතිරිකළ බැවින් ගෝඨාගෝ ගම අරගලයේ අඛණ්ඩව සිටින අපේ සහෝදරයකුගෙන් විමසූ විට ඔහු මෙසේ කීවේය.

“ඔය නම් බොරු කාරයෙක්. අපි කිසිම දෙයකට සල්ලි එකතු කරන්නේ නෑ. අපිට මෙතැන කෑම සහ වෙනත් අවශ්‍යතා සඳහා වැඩපිළිවෙලක් තියෙනවා. අඩු පාඩුවක් නෑ. අඩුවක් තියෙනවානම් ඒ ගැන අපි කියනවා. ගම්වල ඉන්න මේ වෙලාවේ ආර්ථික පීඩනයට හසුවෙලා ඉන්න කිසිම කෙනෙකුගෙන් අපි ලැබෙන පරිත්‍යාග හැර වෙන කිසිම දෙයක් ඉල්ලන්නේ නෑ, ඔය ආපු පුද්ගලයා ගෝඨාගෝ ගමේ නම විකුණලා හම්බකරන කෙනෙක් වෙන්න ඇති. මේ ගැන සමාජයම දැනුම්වත් කරන්න.”

ගාල්ල ගෝඨාගෝ ගමෙහි සිටින පූජ්‍ය අදුරත්විල චන්ද්‍රජෝති හිමියන්ගෙන් මේ පිළිබඳ විමසූ විට ද කියා සිටියේ ගෝඨා‍ගෝ ගම ගාල්ල ශාඛාවට අවශ්‍යතා සඳහා පරිත්‍යාගශීලින්ගෙන් ලැබෙන ද්‍රව්‍යමය ආධාර හැර කිසිදු මුදල් එකතුකිරීමක් නොකරන බවයි. කිසියම් පිරිසක් ගාල්ල නගරය අවට ප්‍රදේශවල මුදල් එකතු කළ බවට තොරතුරු ඇතැයි ද හිමියෝ කීහ.

Related articles

Recent articles

spot_img