එක්සත් රාජධානිය, පෘතුගාලය සහ ස්පාඤ්ඤය යන රටවලින් මේ වන විට මන්කිෆොක්ස් (Monkeypox) හෙවත් වඳුරුඋණ රෝගීන් සැලකියයුතු ප්‍රමාණයක් වාර්තා වී තිබේ.
මෙම රෝගය බොහෝ දුරට බටහිර සහ මධ්‍යම අප්‍රිකානු රටවලින් වාර්තා වන අතර, වෙනත් රටවල් වලින් වාර්තා වන්නේ කලාතුරකිනි. එමනිසා සෞඛ්‍ය අංශ පවසන්නේ මෙම පැතිරීම ප්‍රබල අනතුරු ඇඟවීමක් බවයි.
Monkeypox යනු
මන්කිෆොක්ස් යනු වයිරස රෝගයක් වන අතර උණ මෙන්ම සුවිශේෂී ගැටිති සහිත කුෂ්ඨයක් ඇති කිරීම මෙහි රෝග ලක්ෂණ වේ. මෙම වයිරසයේ ප්‍රභේද දෙකකි. වඩා දරුණු කොංගෝ ප්‍රභේදය, 10%ක් දක්වා මරණ අනුපාතයක් සහිතය. බටහිර අප්‍රිකානු ප්‍රභේදයේ මරණ අනුපාතය 1%ක් පමණ වේ. එක්සත් රාජධානියනේ මේ වනවිට වාර්තා වී ඇත්තේ බටහිර අප්‍රිකානු ප්‍රභේදයයි.
“මෙම වසරට පෙර මන්කිෆොක්ස් රෝගීන් වාර්තා වී ඇත්තේ ඇත්තේ අට වතාවක් පමණි. ඔවුන්ද විදේශ රටවල සිට පැමිණි අය ලෙස සඳහන් වේ.” යනුවෙන් ලන්ඩන් සනීපාරක්ෂක හා නිවර්තන වෛද්‍ය විද්‍යාලයේ ජාත්‍යන්තර මහජන සෞඛ්‍ය පිළිබඳ මහාචාර්ය ජිමී විට්වර්ත් පැවසීය. ඔහු වැඩිදුරටත් පවසන්නේ මෙවර තත්ත්වය “ඉතා අසාමාන්‍ය” බවයි.
පෘතුගාලය තහවුරු කරන ලද රෝගීන් පහක් වාර්තා කර ඇති අතර ස්පාඤ්ඤය සැක සහිත රෝගීන් 23 ක් පරීක්ෂණයට ලක්කර තිබේ. මෙම රටවල් දෙකේ මීට පෙර රෝගීන් වාර්තා වී නොමැත.
පැතිරීම
වයිරස සමීප සම්බන්ධතා හරහා පැතිරෙයි. එය ප්‍රථම වරට 1958 දී වඳුරන් තුළ සොයා ගැනීම හේතුවෙන් මන්කිෆොක්ස් යන නම යෙදුවද මේ වනවිට මීයන් මගින් මෙම රෝගය ප්‍රධාන වශයෙන් සම්ප්‍රේෂණය වන බව සොයාගෙන තිබේ.
කෙසේවුවද මේ දිනවල වාර්තා වී ඇති සම්ප්‍රේෂණ රටාව විශේෂඥයින්ට ද ප්‍රහේලිකාවක් වී ඇත. එක්සත් රාජධානියේ මැයි 18 වනවිට සිදුවීම් නවයක් වාර්තා වී ඇති නමුත් මෙම රෝගීන් එකිනෙකා සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති බව තහවුරු වී ඇත. මැයි 6 වන දින වාර්තා වූ පළමු රෝගියා පමණක් මෑතකදී නයිජීරියාවට ගොස් ඇත.
එනිසා, පුළුල් සම්ප්‍රේෂණයක් වියහැකි බවට විශේෂඥයින් අනතුරු අඟවා ඇත.
එක්සත් රාජධානියේ සෞඛ්‍ය ආරක්‍ෂක ඒජන්සිය පවසන්නේ මෑත කාලීනව සොයාගත් රෝගීන් ප්‍රධාන වශයෙන් සමලිංගික, ද්වීලිංගික හෝ පිරිමින් සමඟ ලිංගිකව හැසිරෙන පිරිමින් ලෙස හඳුනාගෙන ඇති බවයි. එම නිසා එම කණ්ඩායම්වලට අවධානයෙන් සිටින ලෙස උපදෙස් දී ඇත.
වයිරස පැතිරීමේ යම් රටාවක් ඇත්දැයි සොයා බැලීමට විද්‍යාඥයින් උනන්දු වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) මේ සතියේ ප්‍රකාශ කළේය.
සිද්ධීන් වැඩිවීම පිටුපස ඇති එක් හේතුවක් වන්නේ COVID සීමාවන් ඉවත් කර ඇති බැවින් ගමන් වැඩිවීමයි.
මෙම රෝගයේ අවදානම අඩු වුවද එය වසුරිය පවුලට අයත් වයිරසයක් බැවින්, වයිරස රෝග විශේෂඥයින් මේ සම්බන්දව දැඩි අවදානයෙන් පසුවෙයි.
1980 දී වසූරිය රෝගය, එන්නත් කිරීම මගින් ලෝකයෙන් තුරන් කළ බැවින් මේ වනවිට වසූරිය සඳහා එන්නත් කරන්නේ නැත. නමුත් එම එන්නත මගින් මන්කිෆොක්ස් රෝගයට ද ආරක්ෂාවක් සපයන බව විද්‍යාඥයෝ පවසති. එබැවින් එන්නත් කිරීමේ ව්‍යාපාර අවසන් කිරීම මන්කිෆොක්ස් රෝගීන්ගේ වැඩිවීමට හේතු වී ඇති බව කැලිෆෝනියාවේ UCLA හි වසංගත රෝග පිළිබඳ මහාචාර්ය ඈන් රිමොයින් පවසයි.
කෙසේවුවද වෛද්‍ය විශේෂඥයින් ජනතාවගෙන් ඉල්ලා සිටියේ කලබල නොවන ලෙසයි.
“මෙය COVID වැනි රටපුරා වසංගතයක් ඇති නොකරනු ඇත, නමුත් එය බරපතල රෝගයකි, බරපතල ලෙස පැතිරීමකි – අපි එය බැරෑරුම් ලෙස ගත යුතුයි,” විට්වර්ත් පැවසීය.