“මේ 225 අතර ඉන්න බූරුවක් රැලක් නිසා සතයක්වත් හොරකම් නොකරපු අපිටත් ගුටිකන්න වෙන තත්වයක් උදාවෙලා තියෙන්නේ. මන්ත්රීවරුන්ගේ ආරක්ෂාව ගැන වගකීම තියෙන්නේ කතානයකතුමාට. ස්ථාවර නියෝග කිය කියා විකාර දොඩවන්න දෙන්නේ නැතිව මේ පාර්ලිමේන්තුව න්යායපත්රයට අනුව කරගෙන යන්න කියා මම ඉල්ලා සිටිනවා” යැයි අද (19) පාර්ලිමේන්තුවේ දී වීරසුමන වීරසිංහ මන්ත්රීවරයා කියා සිටියේය.
ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ තමන් මීට මාස කිහිපයකට පෙර මේ විදියට ගියොත් 225ට ම ගුටිකන්නට වෙන බව කියූ බවයි. ඒ අයුරින් ම සිදුවී මන්ත්රීවරයකුට මහ මඟ ඝාතනය වන්නට පවා සිදුවූ බව ද හෙතෙම සිහිපත් කළේය.
225ට ම මැරුම් කන්න වෙන බවත් මන්ත්රීවරුන්ට තෙල් ගහන පොම්පය යාවත්කාලීන කරන ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ වීරසුමන වීරසිංහ මන්ත්රීවරයා මෙසේ ද කීවේය.
“කතානයක මෙතන ඉන්න අනෙක් මන්ත්රීවරු 224 ක ගේම ආරක්ෂාව සුරක්ෂිත කරන්න ඕනෑ. ඇඳගෙන එන්න ඇඳුමක් නැති මන්ත්රීවරු මෙතන ඉන්නවා. මේ ජනප්රිය වෙන්න රූපවාහිනී නාලිකාවලටයි අරකටයි මේකටයි කතා කියනවා. වෛරය වපුරනවා. විපක්ෂ නායක ඉදලා හැමෝම ඒක කරන්නේ. මේ පාර්ලිමේන්තුව රැස්වෙන වාරයක් වාරයක් පාසා මිනිස්සුන්ගේ හිතේ තියෙන වෛරය වැපිරෙනවා. අපි මාතර ඉදලා එන්නේ තෙල් පෝළිමේ ඉදලා තෙල් ගහගෙන. කොළඹින් යන්න තෙල් නෑ. ඊයේ මගේ රියදුරා පැය 4ක් පෝළිමේ ඉදලා තෙල් ගහගත්තේ. පොලිසියේ තෙල් පොම්පේ යාවත්කාලීන කළේ නෑ. මිනිස්සුන්ගේ හිතේ වෛරය වැඩිවෙනවා. ඇඟේ තරමට මොළයක් තියෙනවානම් මේවා කරන්න එපා. කතානායකතුමනි, හැමදාම මේ පාර්ලිමේන්තුවේ පළමු පැය එකහමාර දෙක මේ වෛරය වපුරන්න ඉඩ දුන්නා. ඒක කරන්න එපා. ස්ථාවර නියෝග කිය කියා වෙන වෙන දේවල් කතා කරන්න නොදී කරුණාකරලා න්යායපත්රයට අනුව කටයුතු කරන්න.”