spot_img
spot_imgspot_img

රට අරාජික නොකර ජනහිතකාමී පියවර ගන්න යැයි සමාජ ක්‍රියාකාරිකයෝ ඉල්ලති

පුවත්

විදෙස්

‍මේ අවස්ථාවේ දී රට මුහුණ දී ඇති ආර්ථික, ‍දේශපාලනික සහ සමාජ අර්බුදයෙන් අත්මිදීම සඳහා වහාම සියලුම පාර්ශවයන් මැදිහත් වී සාධනීය විසඳුම්වලට සහ ප්‍රතිසංස්කරණවලට යා යුතුයැයි “ප්‍රතිසංස්කරණන සඳහා ජනතා ව්‍යාපාරය” ජනාධිපපති, අගමැති, විපක්ෂනායක, අරගලකරුවන් ඇතුළු සියලු ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ඔවුන් මේ සම්බන්ධයෙන් සකසන ලද සංදේශයක් ප්‍රසිද්ධියට පත්කර තිබේ. එම ලියවිල්ල සඳහා සමාජ ක්‍රියාකාරිකයන් රැසක් අත්සන් තබා ඇත. එහි විසඳුම් යෝජනා කිහිපයක් ද සඳහන් කර තිබේ.

එම ලියවිල්ල සම්පූර්ණයෙන් ම පහතින්

මෙම ප්‍රකාශනයට අත්සන් තබන අප සියලු දෙනා ජනාධිපතිගෙන්ද, විරුද්ධ පක්ෂ නායකයාගෙන්ද, සෙසු දේශපාලන පක්ෂ නායකයින්ගෙන්ද, පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ගෙන්ද ,ආගමික නායකයින්ගෙන්ද, මහජන නැගිටීමට සම්බන්ධ වගකිවයුතු සාමකාමී අරගල කරැවන්  හා ප්‍රහාර මත ප්‍රතිප්‍රහාර එල්ලකල අසංවිධිත මහජන කණ්ඩායම් වලින්ද, රාජ්‍ය නිලධාරින්ගෙන් ද, වෘත්තියවේදින්ගෙන් හා මහජනතාවගෙන්ද ඉල්ලා සිටිනුයේ මේ වන විට අරාජික තත්ත්වයකට  පත්ව තිබෙන රට ඒ තත්ත්වයෙන් මුදාගනිමින් නීතියෙන් අවසර ඇති ජනහිතකාමී සියලු පියවර වගකිව යුතු බලධාරින් විසින් නොපමාව ගත යුතු බවත්,  ඒ සදහා අවශ්‍ය සහාය  මහජනයා විසින් එම බලධාරීන්ට ලබා දිය යුතු බවත්‍ ය.

මැයි  මස  නමවන දිනදී, ගෝල්ෆේස් සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට සාමකාමී විරෝධතාකරුවන්ට එල්ල වූ ම්ලේච්ඡ ප්‍රහාරය සහ එම සිදුවීමෙන් මතු වූ අහිතකර බලපෑම් දැඩි ලෙස හෙළා දකිමු.

මෙම තීරණාත්මක  මොහොතේදී සාමකාමී හා නීති ගරුක ලෙස ක්‍රියා කරන ලෙස අපි  මෙම අර්බුදයට සම්බන්ද සියලු පාර්ශව වලින්ද, මහ ජනතාවගෙන් ද ඉල්ලා සිටිමු.

රටට ආණ්ඩු පාලනයක් නැතිකමේ ප්‍රශ්නය නොපමාව විසඳා ගත යුතුය. ඉක්මනින් ආණ්ඩු පාලනයක් ඇති කරගැනීමට නොහැකි වෙතොත් මහජනයාට ඒ වෙනුවෙන් ලොකු වන්දියක් ගෙවන්නට සිදු වනු ඇති අතර රටේ ඇති වී තිබෙන අරාජිකත්වය පාලනය කිරීමද  ඉතා දුෂ්කර දෙයක් බවට පත්වනු ඇත.ආණ්ඩු පාලනයක් ඇති කර ගැනීම සඳහා ඉක්මනින් පාර්ලිමේන්තුව කැඳවිය යුතු අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට බියෙන්  තොරව පාර්ලිමේන්තු කටයුතු කරගෙන යාමට අවශ්‍ය වාතාවරණයක් සහතික කිරීම සඳහා අවශ්‍ය සියලු පියවරද ගත යුතුය. ගෙවුම් ශේෂ ප්‍රශ්නය විසඳාගැනීමට දිය යුතු ප්‍රමුඛතාවයද අත් නොහැරීමට වග බලා ගත යුතුය.

පුපුරා ගිය මහා අර්බුදය ලංකාව දිගින් දිගටම අත්‍යාවශ්‍ය ප්‍රතිසංස්කරණ මග හැරීම නිසා ඇතිවූ තත්ත්වයක තර්කානුකූල ඵලයක් ලෙස සැලකිය හැකිය. නිදහස ලැබී දශක හතකට වැඩි කාලයක් ගෙවී  තිබියදීත් ලංකාවේ ජීවත්වන සියලු ජන කණ්ඩායම් ඇතුළත්වන ලෙස හා  ඒ සියලු දෙනාට සමාන මනුෂ්‍ය ගෞරව හා සමාන අයිතිවාසිකම් ලබා දෙන ප්‍රවේශයක් තුළ  ලාංකේය ජාතිය ගොඩනගා ගැනීමට අද දක්වා අප අසමත් වී සිටිමු.එය රටේ ඇතුවූ ලේවැගිරීම් කෙරෙහි ද බලපෑ වැදගත්ම  සාධකයකි. 78 ව්‍යවස්ථාව මගින් ජනාධිපතිට රාජ්‍යයේ සකල විධ බලය ලබාදී ඔහු නීතියට ඉහළින් සිටින තැනක තැබීමේ ප්‍රතිපත්තියද රාජ්‍යයේ ප්‍රධාන බල මණ්ඩල තුන අතර තිබිය යුතු සංවරණය හා තුලනය බිද දැමීමට හේතු විය. නීතියට ඉහළින් සිටීමට ලැබී තිබුණ එම බලය ප්‍රයෝජනයට ගනිමින් ජනාධිපතිවරුන්, ඔවුනගේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන් හා දේශපාලන ගජ මිතුරන් එකට කල්ලි ගැසී මහා පරිමාණයෙන් අයථා ලෙස ධනය උපයන ප්‍රතිපත්තියක් අනුගමනය කළ අතර එම තත්ත්වය රාජ්‍යය හා එහි සමස්ත ආයතන ක්‍රමය දූෂිත කිරීමට හේතුවීමෙන් නොනැවතී  රට බංකොලොත් කිරීමටද වැදගත් සාධකයක් ලෙස බලපෑවේය. රට දැන් ඇද වැටී තිබෙන අරාජික හා බංකොලොත් තත්ත්වයෙන් ගොඩගැනීමට හැකිවනු ඇත්තේ තරුණ නැගිටීමෙන් ප්‍රක්ෂේපණය වන මහජන බලාපොරොත්තු අතර ඵක් ප්‍රධාන අපේක්ෂාවක් ලෙස සැලකිය හැකි දේශපාලන ක්‍රමයේ යහපත් හා ගැඹුරු විපර්යාසයක් ඇති කිරීමට හේතුවන ව්‍යුහමය ප්‍රතිසංස්කරණ වැඩ සටහනකට රට යොමු කිරීමෙන් පමණය. එය සට කපට අරමුණෙන් නොව රටේ පොදු යහපත පිනිස අවංක අරමුණෙන් කරන දෙයක් විය යුතුය.

ගෙවුම් ශේෂ අර්බුදය විසදා ගැනීමේ ප්‍රශ්නයට ප්‍රමුඛ වැදගත්කමක් ලබා දෙනවාට  අතිරේකව,

 (අ) ජාතිය ගොඩ නැගීම

(ආ) නීතියට ඉහළින් සිටින ජනාධිපති ක්‍රමය අහෝසිකොට පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක් ඇති කර ගැනීම

 (ඇ) අධිකරණයට විමර්ශන බලය ලබාදීම

(ඈ) දේශපාලන පක්ෂවල අභ්යන්තර ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීම

 (ඉ) මැතිවරණ හා පක්ෂ අරමුදල් විගණනය කිරීම

 (ඊ) දූෂණය තුරන් කිරීම හා නාස්තිය අවම කිරීම

(උ) ජාතික ප්‍රතිපත්ති රාමුවක් තනා ගැනීම

(ඌ) වාර්ගික, ආගමීක, ලිංගික හා සංස්කෘතික ජන කණ්ඩායම් වල දුක් ගැනවිලි සොයා බැලීම 

(එ) මහජන ව්‍යවස්ථාවක් හෙවත් මහජන සහභාගී ව්‍යවස්ථාවක් ඇති කර ගැනීම

යන අංග එම ප්‍රතිසංස්කරණ වැඩ සටහනට ඇතුළත් විය යුතුය. එම ප්‍රතිසංස්කරණ වැඩ සටහන අයාලේ යාම වලකා එයට විස්වාසනීය හා ස්ථාවර භාවයක් ලබාදීම සඳහා මෙවැනි අර්බුදයකට පත් වූ වෙනත් බොහෝ රටවල් කර තිබෙන්නා සේ එක්සත් ජාතින්ගේ සංවිධානයද එම වැඩ සටහනේ  නිරීක්ෂකයෙකු වශයෙන් සම්බන්ධකර ගැනීම සුදුසු බව අපි විස්වාස කරමු.

මෙවැනි ප්‍රතිසංස්කරණ වැඩ සටහනකට දොරටු විවෘත කළ යුත්තේ රටේ ප්‍රධාන විධායකය වන ජනාධිපති ධූරයයි. ලංකාව මුණ දී තිබෙන එම අර්බුදය විසඳා ගැනීම සඳාහා එවැනි ප්‍රතිසංස්කරන වැඩ සටහනකට දොරටු විවෘත කරන්නේ නම් ඒ සඳහා රටට දෙනු ලබන සංඥාවක් ලෙස අත්ඩංගුවේ හෝ රඳවා තබාගෙන සිටින සියලු  දේශපාලන සිරකරුවන්ට  නිදහස ලබා දෙන අතර  ජනාධිපති වශයෙන් නීතියට  ඉහළින් සිටින තත්ත්වය අත් හරිමින්  නීතියට යටත් තත්වයකට පත් වන බවට ප්‍රසිද්ධ ප්‍රතිඥාවක් මහජනයා වෙත ලබා දෙන ලෙස අපි ජනාධිපති වරයාගෙන් ඉල්ලා සිටිමු.අවසාන වශයෙන් අපි බලධාරින්ගෙන්ද මහජනයාගෙන්ද මහත් ඕනෑකමින් ඉල්ලා සිටිනුයේ ඇති වී තිබෙන අරාජික තත්ත්වය ඉවත් කර  විධිමත් රාජ්‍ය  පරිපාලනක්  පිහිටුවා ලීම සඳහා එක්සිත්ව හා එක්සත්වද සාමකාමි හා නීති ගරුක ලෙසද ක්‍රියාකරන ලෙසය.

අත්සන්

1. වික්ටර් අයිවන්

2. චාල්ස් තෝමස් සහෝදරතුමා

3. සාරා ආරුමුගම්

4. ඔස්ටින් ප්‍රනාන්දු

5. බැසිල් ප්‍රනාන්දු

6. මහාචාර්ය බුද්ධි මාරඹේ

7. මහාචාර්ය සරත් අබේකෝන් 

8. සරත් ප්‍රනාන්දු

9. මංජුල සිල්වා

10. ජූඩ් ප්‍රනාන්දු

11. සිසිර කුමාර මතුගම

12. හෂේන්ද්‍ර ප්‍රනාන්දු

13. ජයලත් බණ්ඩාර

14. මහේන්ද්‍ර ජයසේකර

15. ධණුක සමරසිංහ

16. හර්මන් ගුණරත්න

17. ලැසිල් ඩි සිල්වා

18. නීතීඥ  මාස් යූසුෆ්

19. වෙෙද සයිෆුල් ඉස්ලාම්

20. ආචාර්ය  ආර්. සමරතුංග

21. සරෝජ් පතිරණ

22. මහාචාර්ය ඇන්ටන් මීමන

23. ප්‍රසන්න විතානගේ

24. නීතීඥ  ජනක එදිරිසිංහ

25. ආනන්ද ජයසේකර

26. ප්‍රසන්ත අබේකෝන්

27. ආචාර්ය චන්දිමා විජේගුණවර්ධන

28. දිනිල් පෙරේරා 

29.සොරායා එම්. ඩීන්

30. ධනුෂි සේනානායක

31. ජයනි අබේසේකර

32.  ආචාර්ය සොනාලි ටකර්

33. නිහාල් සහීඩ්

34. ආසිරි ප්‍රනාන්දු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!