ශ්‍රී ලංකාවට මූල්‍ය ආධාර සපයන විදේශ රටවල නියෝජිතයන්ගෙන් සැදුම්ලත් විදේශ සංසදයක් පිහිටුවීමට කටයුතු කරන බව අග්‍රමාත්‍ය මාධ්‍ය ඒකකය පවසයි.
රටේ ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවේ දී එවැනි සංසදයක අවශ්‍යතාව වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුව සිටිය දී පසුගිය මාසයේ පාර්ලිමේන්තුවේ දී පෙන්වා දුන්නේය.
මේ අතර අගමැති රනිල් වික්‍රමසිංහ ඊයේ (13) දිනයේ සිය ධූරයේ රාජකාරී ආරම්භ කළ අවස්ථාවේ සිට විදේශ රටවල තානාපතිවරු රැසක් හමුවී සාකච්ඡා කිහිපයක් ම පවත්වා ඇති අතර තවත් රටවල් රැසක් සමඟ එම රටවල සිටින ශ්‍රී ලංකා තානාපතිවරු මාර්ගයෙන් සාකච්ඡා කර තිබේ.
ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ හමුවූ අගමැතිවරයා, ජපාන තානාපති ද හමුවූ බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.
ජපාන තානාපතිවරයා අගමැති සමඟ සාකච්ඡාවෙන් අනතුරුව පවසා ඇත්තේ ශ්‍රී ලංකාවට කඩිනම් ආධාර ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජපානයේ ටෝකියෝ වෙත පිටත්ව යන බවයි.
මීට අමතරව ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපතිනි ජූලි චන්ග් ඇත.
ඇය හමුවූ අවස්ථාවේ දී එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාපර්තමේන්තුවේ නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සම්බන්ධයෙන් ද අදහස් හුවමාරු වී ඇත. එමෙන් ම ඇමෙරිකානු තානාපතිනිය, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ ඇති කරුණු පාර්ලිමේන්තුවේ දී බලාත්මක කිරීම සම්බන්ධයෙන් දැඩ අවධානයක් යොමුකර ඇතැයි ද වාර්තා වේ.
ශ්‍රී ලංකාවේ සිටින චීන තානාපති චී චෙන්හොන්ග් අගමැතිවරයා හමුවූූ අතර එහි දී ශ්‍රී ලංකාවේ ඉදිරි කටයුතු සඳහාත් ජනතාව නගා සිටුවීම සඳහාත් චීනයේ උපරිම සහයෝගය තවදුරටත් ලබා දෙන බවට පොරොන්දු වී තිබේ.
බ්‍රිතාන්‍ය තානාපතිනය ද සිය රටට පිටත්ව යාමට පෙර අගමැතිවරයා සමඟ දුරකථනයෙන් සම්බන්ධ වී ඔහුට සුබ පැතීම් සිදුකර අනතුරුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ. ශ්‍රී ලංකාවේ වත්මන් තත්වය සහ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳ තමන් බ්‍රිතාන්‍ය රජය දැනුම්වත් කරන බව ද ඇය අගමැතිවරයාට පවසා තිබේ.
මීට අමතරව නවසීලන්තය ද ශ්‍රී ලංකාවට කඩිනම් මූල්‍ය ආධාර ලබාදීමට එකඟ වී තිබේ.