හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ඇතුළු 07 දෙනකු වහාම අත්අඩංගුවට ගෙන අධිිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් කරන්න යැයි ඉල්ලමින් නීතිඥවරයකු කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (13) පුද්ගලික පැමිණිල්ලක් ගොනු කළේය.
නීතිඥ සේනක පෙරේරා මෙම පෙත්සම ඉදිරිපත් කර තිිබේ.
අරලියගහ ඉදිරිපිට සහ ගාලු මුවදොර පිටියේ සාමකාමී උද්ඝෝෂණයක නිරත වූ පිරිස් සාපරාධී බිය ගැන්වීමකට කුමන්ත්‍රණය කිරීම හේතුවෙන් ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙස ඔහු එම පෙත්සම මගින් ඉල්ලා සිටියි.
මෙම පෙත්සමේ වත්තිකරුවන් ලෙස හිටපු අගමැති මහින්ද රාජපක්ෂට අමතරව, ජොන්ස්ටන් ප්‍රනාන්දු, සංජීව එදිරිමාන්න, සනත් නිශාන්ත යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, මොරටුව නගර සභාවේ සභාපති සමන් ලාල් ප්‍රනාන්දු, බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ පොලිස්පති චන්දන වික්‍රමරත්න නම්කර ඇත.
ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 140, 144, 146, 149, 150, 154, 157, 314, 315, 316, 343, 483, 486 යන වගන්ති අනුව නිති විරෝධී රැස්වීමක් සිදු කිරීම හා එහි සාමාජිකත්වය දැරීම, කැරලි ගැසීමේ වරද සිදුකිරීම, රජයේ සේවකයකුට පහර දීමේ සහ බාධා කිරීමේ වරද, ජනතාව ප්‍රකෝප කිරීමෙන් කැරැල්ලක් ඇතිකිරීම, කලහයක් ඇති කිරිම, අන්තරාදායක ආයුධවලින් තුවාල සිදුකිරීම, සාපරාධී බලහත්කාරය පෑම, අඩන්තේට්ටම් කිරීම, සාපරාධී බිය ගැන්වීම යන වැරදි වගඋත්තරකරුවන් විසින් සිදුකර ඇතැයි පැමිණීල්ල දක්වා ඇත.
1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 136 (1) (අ) වග්නිතය යටතේ මෙම පුද්ගලික පැමිණීල්ල ඉදිරිපත් කර තිබේ.
මෙම පැමිණිල්ල කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඉදිරියේ අද (13) කැදවූ අවස්ථාවේදී මෙය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ලබන 17 වැනිදා කැදවීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.