spot_img
spot_imgspot_img

“රට අර්බුදයක, කල් දැමීම් කරන්න බෑ. කඩිනම් ප්‍රතිචාර ඕනෑ” සජිත්ට ජනාධිපති ලිපියකින් දන්වයි

පුවත්

විදෙස්

රට දේශපාලන සහ ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් පවතින අවස්ථාවක දී කල්දැමීම් කළ නොහැකි බැවින් කඩිනම් ප්‍රතිචාර දක්වන ලෙස දන්වමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත ලිපියක්  යොමුකර තිබේ.

තමන් කොන්දේසි කිහිපයක් යටතේ අගමැති ධූරය බාර ගැනීමට සූදානම් බවට ඊයේ (12) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ජනාධිපතිවරයාට යොමුකරන ලද ලිපියට පිළිතුරු වශයෙන් එම ලිපිය යවා ඇත.

එම ලිපිය සම්පූර්ණයෙන් ම පහතින් සඳහන් කර ඇත.

අග්‍රාමාත්‍ය ධූරය බාරගැනීම සම්බන්ධයෙන් 2022 මැයි මස 12 දිනැතිව ඔබ විසින් මා වෙත යොමු කරන ලද ලිපියට පිළිතුරු වශයෙනි.

දැනට රට තුළ උද්ගතව පවතින සමාජ, ආර්ථික හා දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් විවිධ පාර්ශවවලින් ඉදිරිපත් වූ යෝජනා සැළකිල්ලට ගනිමින්, පාර්ලිමේන්තුවේ බහුතරයක් පක්ෂ නියෝජනය කරනු ලබන අන්තර්කාලීන ආණ්ඩුවක් පත්කිරීම සඳහා අවස්ථාව සළසමින්, අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ සමස්ත අමාත්‍ය මණ්ඩලය ඉල්ලා අස්වීමට පසුගිය මැයි මස 06 වැනි දා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එකඟතාවක් ඇති කරගන්නා ලදී.

එම එකඟතාවයෙන් පසු, නව අන්තර්කාලීන රජයක අග්‍රාමාත්‍යධූරය භාරගන්නා ලෙසට මා විසින් මුලින් ම ආරාධනා කරන ලද්දේ ඔබටය. එම අවස්ථාවේ දී, ඔබ විසින් මා වෙත දැනුම් දෙදනු ලැබුවේ, ඒ සඳහා ඔබ සූදානම් නොමැති බවත්, කෙසේ වෙතත් එම ආරාධනය සම්බන්ධයෙන් සමගි ජන බලවේගය හා සමගි ජන බල සන්ධානයේ සෙසු මන්ත්‍රී කණ්ඩායම සමඟ සාකච්ඡා කොට ඔබගේ තීරණය දැනුම් දෙනු ලබන බවයි. පසුගිය මැයි මස 09 වන දින හිටපු අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ අමාත්‍ය මණ්ලය ඉල්ලා අස්වන තුරු ද මේ සම්බන්ධයෙන් ඔබෙන් ප්‍රතිචාරයක් නොලැබුණු බැවින්, පවතින අස්ථාව තත්වය කඩිනමින් අවසන් කර, අන්තර්වාර රජයක් පිහිටුවීම සම්බන්ධයෙන් එකඟතාවක් ඇති කර ගැනීම සඳහා මා විසින් පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන අනෙකුත් පක්ෂ නායකයින් සමඟ ද සාකච්ඡා ආරම්භ කරන ලදී.

මේ අතර, මැයි මස 10 වන දින ඔබ විසින් පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් මගේ නායකත්වය යටතේ අන්තර්වාර රජයක කිසිදු වගකීමක් බාර ගැනීමට ඔබ සූදානම් නොමැති බවට ප්‍රකාශ කරන ලදී. ඉහත තත්වය තුළ අනෙකුත් පක්ෂ නායකයින් සමඟ කරන ලද සාකච්ඡාවන්ගේ ද ප්‍රතිඵලයක් වශයෙන්, මෙම අභියෝගාත්මක අවස්ථාවේ අග්‍රාමාත්‍ය ධූරය බාර ගැනීම සඳහා සුදුසුම පුද්ගලයා ලෙස, අවස්ථා කිහිපයක දී ම මෙරට අග්‍රාමාත්‍ය ධූරය හොබවන ලද පරිණත දේශපාලනඥයකු වන ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා පත්කිරීමට මම තීරනය කළෙමි.

ඒ අනුව, ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා අද (මැයි 12) දින, අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දීමට තීරණය වූ අතර, එසේ දිවුරුම් දීමට සුළු වේලාවකට පෙර ඔබ විසින් ඉහත ලිපිය මා වෙත යොමු කරමින්, මෙතෙක් සියළු පක්ෂ සමඟ සාකච්ඡා කර එකඟ නැති කොන්දේසි කිහිපයක් යටතේ, අග්‍රාමාත්‍ය්‍ය ධූරය බාර ගැනීමට සූදානම් බව දැනුම් දී ඇත.

කෙසේ වෙතත්, ඔබ විසින් ම අග්‍රාමාත්‍ය ධූරයේ වගකීම බාර ගැනීම ප්‍රතික්ෂේප කර තිබූ තත්වයක් තුළ පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන අනෙකුත් පක්ෂ නායකයින් සමඟ ද සාකච්ඡා කර ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා අග්‍රාමාත්‍යධූරයට පත්කිරීමට මා විසින් ගනු ලැබූ තීරණය මේ මොහොතේ වෙනස් කළ නොහැකි බව දැනුම් දෙමි.

එසේ වුව ද, පවතින ආර්ථික සහ දේශපාලන අර්බුදයට විසඳුම් සෙවීම, ජාතික අවශ්‍යතාවක් ලෙස සළකා ඔබේ පක්ෂයේ යම් පිරිසක් ඉදිරියේ දී පත්කිරීමට නියමිත නව අමාත්‍ය මණ්ඩලයට ඇතුළත් කිරීමට එකඟ වන්නේ නම්, ඒ සම්බන්ධයෙන් නොපමාව මා දැනුම්වත් කිරීමට කටයුතු කරන මෙන් ආරාධනා කරමි.

රට බරපතල දේශපාලන හා ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් පවතින අවස්ථාවක, නව අමාත්‍ය මණ්ඩලය පත්කිරීම ද බොහෝ කල් දැමීමට නොහැකි බැවින් ඔබගේ කඩිනම් ප්‍රතිචාරය අගය කරමි.

ගෝඨාභය රාජපක්ෂ

2021 මැයි මස 12 වන දින

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!