රනිල් වික්‍රමසිංහ හය වැනි වතාවටත් මෙරට අගමැතිවරයා ලෙස දිවුරුම්දීමට නියමිතය. මෙහි විශේෂත්වය වන්න් එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තුවේ එක් ආසනයක් පමණක් තිබිය දී ඔහු එම පක්ෂයේ නායකයා ලෙස අගමැතිධූරයට පත්කිරීමය.
බොහෝ දේශපාලන පක්ෂ ඇතැම් ආගමික නායකයන් පවසන්නේ රනිල් වික්‍රමසිංහට අගමැතිධූරය භාර ගැනීමට කිසිදු ජන වරමක් නොමැති බවයි.
2020 මහ මැතිවරණනයේ දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ශ්‍රී ලංකාවේ ඡන්ද 6,853,693 (59.89%) දිනාගනිමින් ආසන 128ක් හිමිකරගත් අතර විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වූ සමගි ජන බලවේගයට හිමිවූ ඡන්ද 2,773,984 (23.98%) ක් හිමිකරගෙන තිබිණි.
අද ගමැතිවන රනිල් වික්‍රමසිංහ නායකත්වය දැරූ එක්සත් ජාතික පක්ෂයට රට පුරාම හිිමිවූයේ ඡන්ද 249,435ක් පමණි. එම පක්ෂයට දිස්ත්‍රික් මට්ටමින් එකම ආසනයක් හෝ දිනාගත නොහැකි වූ අතර ජාතික ලැයිස්තුවෙන් එක් අසුනක් හිමිවිය. ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන ජාතික ජන බලවේගය ඡන්ද 445,958ක් ලබාගෙන තුන්වැනි ස්ථානයට පත්වෙමින් දිස්ත්‍රික් මට්ටමින් ආසන දෙකක් සහ ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීධූරයක් දිනාගත් අතර ඉලංකෙයි තමිල් අරසු කච්චි ඡන්ද 327,168ක් හිමිකරගනිමින් දිස්ත්‍රික් මට්ටමින් ආසන 09ක් හා ජාතික ලැයිස්තු ආසන 01 හිමිකරගෙන තිබිණි.
2020 මහ මැතිවරණයේ ප්‍රතිඵල ආසන හිමිවූ ආකාරය පහත දක්වා ඇත
දේශපාලන පක්ෂයේ නම | දිස්ත්‍රික් පදනමින් ලබාගත් ආසන | ජාතික පදනමින් ලබාගත් ආසන | එකතුව |
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ | 128 | 17 | 145 |
සමගි ජන බලවේගය | 47 | 7 | 54 |
ඉලංකෙයි තමිල් අරසු කච්චි | 9 | 1 | 10 |
ජාතික ජන බලවේගය | 2 | 1 | 3 |
ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය | 2 | 0 | 2 |
අකිල ඉලංකෙයි තමිල් කොංග්‍රස් | 1 | 1 | 2 |
තමිළ් මක්කල් විඩුදලෛප් පුළිකල් | 1 | 0 | 1 |
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | 1 | 0 | 1 |
මුස්ලිම් ජාතික සන්ධානය | 1 | 0 | 1 |
තමිල් මක්කල් තේසිය කූට්ටනි | 1 | 0 | 1 |
අහිල ඉලංගෙයි මහජන කොංග්‍රසය | 1 | 0 | 1 |
ජාතික කොංග්‍රසය | 1 | 0 | 1 |
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය | 1 | 0 | 1 |
එක්සත් ජාතික පක්ෂය | 0 | 1 | 1 |
අපේ ජන බල පක්ෂය | 0 | 1 | 1 |
පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරු මහ මැතිවරණයෙන් පත්වූ පසු ජනාධිපිතවරයා විසින් අමාත්‍ය මණ්ඩලයක් පත්කළ යුතු වන්නේය. ඒ බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ VIII වන පරිච්ඡේදයේ දක්වා ඇත.
එහි 43 (2) වගන්තියේ මෙසේ දැක්වෙයි.
“පාර්ලිමේන්තුවේ යම්කිසි මන්ත්‍රීවරයකු කෙරෙහි පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම පමණින් ඇතැයි ජනාධිපිතවරයාගේ මතය වන්නේ නම් ජනාධිපතිවරයා විසින් ඒ මන්ත්‍රීවරයා අග්‍රාමාත්‍ය ධූරයට පත්කළ යුත්තේ ය.”
ඒ අනුව ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරයාට ඕනෑම කෙනෙකු අග්‍රාමාත්‍යධූරයට පත්කිරීමේ බලය ඇත.
එසේ වුව ද අගමැතිවරයාට පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය තිබිය යුතුය.
මේ වනවිට එක් මන්ත්‍රීධරයක් පමණක් හිමි වූ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අගමැතිධූරයට පත්කිරීමට යම් මන්ත්‍රී කණ්ඩායමක් විරුද්ධ වන්‍නේ නම් ඔවුන්ට අභිනව අග්‍රාමාත්‍යවරයා කෙරෙහි විශ්වාසයක් නැතැයි පවසා විශ්වාසභංගයක් ඉදිරිපත් කළ හැකියාව ඇත.
ජනාධිපතිවරයා කවරකු අගමැතිධූරයට පත්කළ ද පාර්ලිමේන්තුවට ඔහු ඉවත්කිරීමේ බලය ඇති බැවින් ජන මතයට පටහැනිනම් මේ ක්‍රියාවලිය අනුගමනය කිරීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂවලට හැකියාව ඇත.
කෙසේ වෙතත් එදා ජනමතයට අනුව එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකාවේ වැඩිම ඡන්ද ලබාගත් දේශපාලන පක්ෂ අතර 05 වැනි ස්ථානයට වැටී තිබිණි. නමුත් එදා මෙරට දිස්ත්‍රික් මට්ටමින් ආසන 128ක් හා ජාතික ලැයිස්තුවෙන් ආසන 17ක් දිනාගත් පොදු ජන පෙරමුණේ නායකයන් එරෙහිව රට පුරා පැවැති උද්ඝෝෂණ සහ පසුගිය දා මන්ත්‍රීවරුන්ගේ දේපළ පවා විනාශ කරමින්, එක් මන්ත්‍රීවරයකු ඝාතනය කරමින් පැවැති විරෝධය අනුව පැහැදිලි වන්නේ 2020 මහ මැතිවරණයේ දී ජනතාව දුන් තීරණය අදට වලංගු නැති බවයි.
නමුත්, ශ්‍රී ලංකාව පත්ව ඇති ආර්ථික අර්බුදය හමුවේ හදිසි මැතිවරණයකට යාමේ හැකියාව පිළිබඳව ද ගැටලුවක් තිබේ.
එවැනි වාතාවරණයක් තුළ පාර්ලිමේන්තුවේ දැනට සිටින මන්ත්‍රීවරු අතරින් සුදුසු පුද්ගලයකු අගමැතිධරයට පත්කර ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලක් සහිතව කෙටි කාලීන අන්තර්වාර පාලනයකට බොහෝ දේශපාලන පක්ෂ කැමැත්ත ප්‍රකාශ කර තිබිණි.
එමෙන් ම එවැනි රජයක අගමැති ධූරය බාරගන්නා ලෙස විවිධ නම් යෝජනා වූ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් ද එම ධූරය බාර ගන්නා ලෙස ඉල්ලීමක් කෙරිණි. නමුත් සිදුවූයේ විවිධ හේතු කියමින් සෑම දේශපාලන පක්ෂයක් ම මාසයක පමණ කාලයක් ප්‍රශ්නයට විසදුම් ලබා නොදීමයි. පාපර්ලිමේන්තුවට ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයක් ගෙන ඒම ද දිනෙන් දින ප්‍රමාද වූ අතර පාර්ලිමේන්තුව රැස්වුව ද වැදගත් යෝජනා ඉදිරිපත් නොවූ බව දේශපාලන විචාරකයන් මෙන්ම සිහිබුද්ධියක් ඇති බොහෝ දෙනා කීහ.
අවසානයේ අගමැති මහින් රාජපක්ෂ සිය අගමැතිධූරයෙන් ඉල්ලා අස්වූයේ මුළු රටේ ම කලබලකාරී වාතාවරණයකට මග පාදමිනි. අගැමති ඉල්ලා අස්වීම, රට පුරා ඇමතිවරුන්ගේ දේපල විනාශ කිරීම, ඇමතිවරු ඝාතනය වීම වැනි අරාජික වාතාවරණයක් තුළ හමුදා පාලනයක් පිළිබඳ දැඩි සැකයක් ද දේශපාලන අංශතුළම හටගෙන තිබිණි.
ඊයේ රාත්‍රී හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර පැය තුනක පමණ කාලයක් පැවැති සාකච්ඡාවකින් පසු අගමැතිධූරය බාර ගැනීමට රනිල් වික්‍රමසිංහ කැමැත්ත ප්‍රකාශ කළේය.
ඔහු කියා සිටියේ ’මම අගමැති වෙනවා නෙවෙයි. මම මේ රටේ අවශ්‍යතාවක් සම්පූර්ණ කරනවා” යනුවෙනි.
මේ පිළිබඳ ජනමතය දැන් සාකච්ඡා කිරීමට හැකි අවස්ථාවක රට තිබේ ද යන්න ගැටලුවකි. 2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී 2/3ක බලයක් ලැබූ දේශපාලන පක්ෂය දැන් බිත්තියට ම හේත්තු වී ඇත. එදා මහජන මතය අද වෙනස් වී ඇත. නමුත් එය විමසා බැලීමට හැකි තත්වයක රටේ ආර්ථිකය මෙන්ම දේශපාලනය ද නැත.
එදා ජයගත් එම පක්ෂයේ නියෝජිතයන්ට සැඟවී සිටීමට සිදුව ඇත. පාර්ලිමේන්තුව රැස්කිරීමට නම් මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරන්න යැයි කතානායක පවසන තත්වයට පත්ව තිබේ. හදිසි නීතිය සහ ඇඳිරිනීතිය පනවා තිබේ.
එවන් තත්වයක දී ව්‍යවස්ථාදායකය ශක්තිමත් කිරීමට නම් අගමැතිවරයකු පත්කර අත්‍යාවශ්‍ය කඩිනම් ප්‍රතිසංස්කරණන කළ යුතුය. ඒ සඳහා පැරණි ජනමතය කෙසේ වෙතත් ජනතාවගේ පරමාධිපත්‍යයෙන් පාර්ලිමේන්තුවට දැන් තේරීපත්ව සිටින (ඔවුන් හොරුයැයි කියන්නේ ද ඔවුන් පත්කරන ලද ජනතාවමය) මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත ඇතිව හෝ කළ යුුතය.
රනිල් අද අගමැති වූ විට ඔහු පාර්ලිමේන්තුවේ තමන්ට බහුතර කැමැත්ත ඇති බව පෙන්විය යුතුය. නැතිනම් ඉන් පසු තවත් කෙනෙකු පත්කළ යුතුය.
පාසලක මොනිටර්ලා පත්කළ විට අනේ මට බෑ මිස් කියා එය ගලවා දෙන ළමයින් ද අනේ එයාට වඩා මම ඒකට හොඳයි කෝ මට දෙන්න යැයි කියන ළමයින් ද තමන්ට මොනිටර් කම නොදුන්නා යැයි හඬා වැළපෙන ළමයි ද තවමත් සිටිති.
පාර්ලිමේන්තුව යනු ළදරු පාසලක් නොවේ රට පාලනය කරන තැනයි. ප්‍රතිපත්ති සකස් කරන තැනයි.
ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කරන තැනයි.