spot_img
spot_imgspot_img

රනිල් අගමැති වෙයි ? ලෝක වාර්තා දෙකක්

පුවත්

විදෙස්

‍ලෝක වාර්තා දෙකක් පිහිටුවමින් රනිල් වික්‍රමසිංහ නැවත වතාවක් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි.

අද (11) සවස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර පැය 03ක සාකච්ඡාවක් ද පැවැත්විණි. එහි දී අග්‍රමාත්‍ය ධූරය පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇතත් එම සාකච්ඡාව සඳහා ඔවුන් දෙදෙනා හැර වෙනත් කිසිවෙකු සහභාගී වී නැත.

අවස්ථා කිහිපයක් ම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ බහුතර බලය දිනා ගනිමින් රාජ්‍ය පාලනය ගෙන ගිය කාලයක් මෙරට දැවැන්තම දේශපාලන පක්ෂය වූ එක්සත් ජාතික පක්ෂය රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් පසුගිය මහ මැතිවරණයේ දී එක් පාර්ලිමේන්තු ආසනයකට පමණක් සීමා විය. එය ද ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයකි. එම පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පත්වූ අතර ඔහු ඉදිරි දින කිහිපය ඇතුළත එම පාර්ලිමේන්තුවේ ම නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට බොහෝ දුරට ඉඩ තිබේ.

එසේ වුවහොත් එය ලෝක දේශපාලන ඉතිහාසයේ ඕනෑම රටක පාර්ලිමේන්තුවක එක් මන්ත්‍රීධූරයක් පමණක් ඇති පක්ෂයක නියෝජිතකු අගමැතිවරයකු බවට පත්වීමේ ලෝක වාර්තාවක් වනු ඇති අතර එය කිසිම රටක කිසිම පුද්ගලයකුට බිඳ හෙළිය හැකි වාර්තාවක් ද නොවනු ඇත.

එමෙන් ම රනිල් වික්‍රමසිංහ නැවත වතාවක් මෙරට අග්‍රාමාත්‍යවරයා වුවහොත් මෙරට පමණක් නොව ලොව ඕනෑම රටක වැඩිම වාරගණනක් අග්‍රාමාත්‍යධූරයට පත්වූ පුද්ගලයා බවට තවත් ලෝක වාර්තාවකට හිමිකම් කියනු ඇත. නැවත අගමැති වුවහොත් රනිල් වික්‍රමසිංහ හය වතාවක් මෙරට අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ඇත.  

කෙසේ වෙතත් දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන්නේ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු කිහිප දෙනකු ද රනිල වික්‍රමසිංහගේ නායකත්වයෙන් පිහිටුවනු ලන රජයට සහය දෙන බවයි.

ජනාධිපති ගේඨාභය රාජපක්ෂ සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම සඳහා සජිත් ප්‍රේමදාසට ආරාධනා කළ අතර ඔහු ඒ සඳහා අද කොන්දේසි 04ක් ඉදිරිපත් කර තිබිණි.

එම කොන්දේසි අනුව ජනතා මයට ගරු කරමින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා නිශ්චිත අවම කාලයක දී ධූරයෙන් ඉවත්වීම, කෙටි කාලයක් සඳහා පිහිටුවන සර්වපාක්ෂික ආණ්ඩුවට ජනාධිපතිවරයා බලපෑම් නොකිරීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව අවම කාලයක දී විධායක ජනාධිපපතිධූරය අහෝසි කිරීමසහ සියලු පක්ෂවල සහාය ඒ සඳහා ලබාගැනීම, ජන ජීවිතය යථාතත්වයට පත්කිරීම, නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම සහ කඩිනමින් ස්ථිරසාර රජයක් පිහිටුවීම සඳහා ජනතාවට අවස්ථාවක් ලබාදෙමින් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම යන කොන්දේසි ඒ අතර විය.

මෙම කොන්දේසි ප්‍රසිද්ධියට පත්වීමෙන් පසු සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු ප්‍රකාශයක් කරමින් තමන් පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන බව කීවේය.

දැනට රටේ ඇති වී තිබෙන දේශපාලන හා ආර්ථික අර්බුදයට විසඳුම් කඩිනමින් ලබාදිය යුතු බවත් ඒ සඳහා කාලය ගත කිරීම ඉතාමත් හානිදායක බැවින් තමන් පාර්ලිමේන්තුවේ ස්වාධීන වී එම අර්බුද විසඳීම සඳහා කටයුතු කරන බව හෙතෙම කීවේය. ඉදිරියේ දී පාර්ලිමේන්තුවට පිවිසීමට ජනතාවගෙන් ඡන්දය නොලැබු‍ණත් මේ අවස්ථාවේ ගත යුතු එම තීරණය තමන් ගන්නා බව ද හෙතෙම කීවේය.

මේ අතර ආණ්ඩුවේ සිට ස්වාධීන වූ කණ්ඩායම ද සමගි ජන බලවේගය අගමැතිධූරය භාර නොගන්නේ නම් එම කණ්ඩාය‍ම අගමැතිධූරය භාර ගැනීමට සූදානම් බව දැනුම් දී තිබේ එම කණ්ඩායම වෙනුවෙන් අගමැතිි  ධූරයට යෝජනා කරන ලද නම් තුනක් අද (11) හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ජනාධිපතිවරයාට යොමුකර ඇතැයි ද පැවසේ. මේ තීරණ ගෙන ඇත්තේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ටිරාන් අලස්ගේ නිවසේ පැවැති රැස්වීමක දී ය.

මාස හයක ක්‍රියාකාරී සැළැස්මක්  අනුව රනිල් වික්‍රමසිංහගේ අගමැතිධූරයෙන් ආණ්ඩුවක් පිහිටුවීමටත් ඒ සඳහා සීමිත කැබිනට් මණ්ඩලයක පත්කර කැබිනට් ඇමතිධූර කිහිපයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු කිහිප දෙනෙකුට ලබාදීමටත් යෝජනා වී ඇතැයි වාර්තාවේ.

එලෙස රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යධූරය භාරගන්නේ නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු‍ කොටසක් සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන තවත් පපක්ෂ කිහිපයක මන්ත්‍රීවරුන්ගේ සහය රනිල් වික්‍රමසිංහට ලබාදීමට ද එකඟවී ඇතැයි වාර්තා වෙයි.

හෙට (12) උදෑසන නැවත වතාක් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා හමුවීමට නියමිතව තිබේ. ඒ අනුව හෙට (12) හෝ අනිද්දා (13) රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දෙනු ඇතැයි ද විශ්වාසවන්ත ආරංචිමාර්ග සඳහන්  කරයි.

නැවත රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යධූරයට පත්වුවහොත් ඔහු මෙරට අගමැතිධූරයට පත්වන 06 වැනි අවස්ථාව එයයි

1993 දී රණසිංහ ප්‍රේමදාස ඝාතනයෙන් පසු ඔහු පළමුවරට අග්‍රාමාත්‍යධූරයට පත්වූයේය. ඉන්පසු 2001 දී එක්සත් ජාතික පක්ෂය මහ මැතිවරණය ජයගැනීමෙන් දෙවැනි වරට අග්‍රාමාත්‍යධූරයට පත්වූ ඔහුට 2004 වර්ෂයේ දී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනිය විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් අගමැතිධූරය අහිමිවිය. එතැන් පටන් විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ 2015 ජනවාරි මාසයේ දී තුන්වැනි වරට මෙරට අගමැතිවරයා ලෙස පත්වූයේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරණයෙන් ජයගැනීමත් සමගිනි. නැවත පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු 2015 අගෝස්තු මැතිවරණය එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තුවේ බහුතරයක්  දිනා ගැනීම හේතුවෙන් රනිල් වික්‍රමසිංහ සිව්වැනි වරට අගමැතිවරයා ලෙස දිවුරුම් දුන්නේය. එය සිව්වැනි අවස්ථාවයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් හදිසියේ ම මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ලෙස පත්කිරීම හේතුවෙන් රනිල් වික්‍රමසිංහට නැවත වතාවක් අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දීමට සිදුවූ අතර එය ඔහු අගමැතිධූරයට පත්වූ පස් වැනි අවස්ථාවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!