spot_img
spot_imgspot_img

“සමාජ මාධ්‍ය නොතිබුණානම් ජීවතුන් අතර නෑ” මැරයන්ට මැදිවී දිවිබේරාගත් අයකුගේ කතාව

පුවත්

විදෙස්

ගෝල්ෆේස් “ගෝඨාගෝගම” ආරම්භ කර හරියටම මාසයක් ගත වන දිනය වූයේ මැයි 09 වැනි දාය.

08 වැනි දා සිට දැනගන්නට ලැබුණේ කිසියම් මැර පිරිසක් 09 වැනි දා මේ ස්ථානයටත්, අරලියගහ මන්දිරය ඉදිරිපිට “මයිනාගෝගමට”ත් ප්‍රහාර එල්ල කරනු ඇති බවයි.

මා උදෑසන මයිනාගෝගමට යන විට එතැන සිටියකට අඩු පිරිසකි. ඒ බොහෝ දෙනකුගේ මුහුණු මීට පෙර දැක හදුනාගෙන තිබිණි. ඔවුන් අරගල කළේ තමන්ගේ පුද්ගලික ලාභ අපේක්ෂාවෙන් නොවේ.

ඔවුන් අරගල කළේ මේ රටේ සමස්ත ජනතාව අද මුහුණ පා සිටින ආර්ථික අර්බුදය විසඳා දෙන ලෙස පාලකයන්ට බල කරමිනි.

ඔවුන් අත කඩු, පොලු, මුගුරු තිබුණේ නැත. ඔවුන් උගුර ලේ රහ වෙනතුරු ‍කෑ ගසමින් සිටියේ දැඩි වෙහෙසකිනි.

මැරයන් තවත් මොහොතකින් පහර දෙනු ඇතැයි වටින් ගොඩින් තොරතුරු ලැබෙද්දී ඔවුහු එතැන සිටියේ සටනකට සූදානම්ව නොවේ. තමන් ආරම්භ කළ අවිහිංසක සටන අතහැරිය නොහැකි නිසාවෙනි.

ඒ තමන්ගේම අනාගත දරු පරපුරක් වෙනුවෙනි.

රටක් ඉල්ලා හඬන, ජීවත්වීමේ අයිතිය ඉල්ලා හඩන දරුවන් වෙනුවෙනි.

ඒ වනවිට අරලියගහ මන්දිරය ඇතුලේ විශාල සේනාවක් රැස්කමින් සිටියහ.

ප්‍රාදේශීය දේශපාලනඥයන් හා ඔවුන් විසින් මෙහෙවයනු ලැබූ පිරිසක් මහින්ද රාජපක්ෂ අගමැතිවරයාට ඉල්ලා අස් නොවන ලෙස කියමින් ජය ඝෝෂා නැගූහ.

මයිනාගෝගම අසළට සිටි 40කටත් අඩු පිරිස අරලියගහ මන්දිරය ඇතුළේ කෙරුණු මහින්ද රාජපක්ෂගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ කතා ඇසවේ පදික වේදිකාවේ සිටිමිනි.

“කීර්ති අයියා පිළිමේ ළඟට එන්න” ඒ දුරකථන ඇමතුම අවේ මයිනාගෝගමේ සහෝදරයකුගෙනි. පිළිමය යනු බණ්ඩාරනායක පිළිමයයි.

මා එහි යනවිට පසුගිය දින 31 දී ගාලු මුවදොර ගෝඨාගෝගම මේ හා සමාන වේලාවක සිටි අඩුම මිනිසුන් සංඛ්‍යාව ඇස් දුටිමි. රැය පුරා පහන් වනතුරු අඛණ්ඩ අරගලයේ නිරත වූ බොහෝ දෙනකු වෙහෙසට පත්ව තැන් තැන්වලට වී සිටියහ.

තවත් පිරිසක් රැකියාවන් සඳහා පිටත්ව ගොසිනි.

අපි හැමදාමත් හමුවන කූඩාරමක සිටි විශේෂ අවශ්‍යතා ඇති තරුණයකුට එතැනින් පිටවන්නට යැයි මම කීවෙමි. එහෙත් ඔහු යන්නට සූදානම් නැත.

“මම කොහොමද මේ වෙලාවේ දාලා යන්නේ ?” ඔහු අරගලය අතහරින්නට සූදානම් නැත.

කයින් දුබල වුව ද සිතින් ඔහු ශක්තිමත්ය.

“එහෙනම් බයිසිකලයට නගින්න” යමකු මෙතැනට ප්‍රහාරයක් එල්ල කරන්නට පැමිණියහොත් ඔහු ආබාධිතයකු බව එවිට දැකගත හැකිවනු ඇතැයි මම සිතුවෙමි.

ඔහුට ඉවත්ව යන ලෙස කොරතම් කීව ද එහාට, මෙහාට පණිවිඩ කීවා මිස එතැනින් ඉවත්වූයේ නැත.

ගෝඨාගෝ ගමේ කිසිවෙකුත් ගියේ නැත.

නමුත්, ඒ වනවිට අපගේ පණිවිඩය සමාජ මාධ්‍ය ඔස්සේ රටපුරාම සංසරණය වෙමින් තිබිණි. එය ලෝකයට ම දැනගන්නට ලැබිණි.

මැරයන් මේ සාමකාමී උද්ඝෝෂණයට ප්‍රහාරයක් එල්ල කරන බව ප්‍රචාරය විය.

මයිනාගෝගම සහ ගෝඨාගෝගම සිටි පොලිස් බලඇණිය තුන්දහසකට වැඩි මිසක් අඩු නැත. පොලු මුගුරු රැගත් 400ක පමණ පිරිසක් මයිනාගෝගමට පහර දී කුඩු පට්ටම් කර පා ගමනින්ම ගෝඨාගෝගමට ඇදෙන්නට විය.

පොලිසිය යම් යම් අවස්ථාවල දී එම පිරිසට බාධා එල්ලකරන බවක් පෙනෙන්නට තිබුණ ද එය සැබෑ බාධාවක් නොවේ. බැලූ බැල්මට රඟපෑමකි. දහස් ගණනක් සහභාගීවන මහා උද්ඝෝෂණයක දී පොලිසිය ඔවුන් පාලනය කරන ආකාරයෙන් තුන්දහසක පොලිස් බල ඇණියක් මේ 400ක පමණ පිරිස වැළැක්වූවේ නැති බව සමාජ මාධ්‍ය ඔස්සේ මොහොතකින් රටම දැනගත්තේය.

මැරයෝ ගෝඨගෝගමට කඩා වැදී එහි සිටි සාමකාමී උද්ඝෝෂකයන්ට එළව එළවා පහරදන්න.

හිතක් පපුවක් නැති මිනිසුන් සේ ඔවුන් පහර දෙද්දී අපේ පණිවිඩය සමාජ මාධ්‍ය ඔස්සේ රට පුරාම ප්‍රචාරය විය.

අපි හිස් අතින් මේ රාජපක්ෂවාදයෙන් උන්මත්තක වූ මැරයන් අභිමුඛ වූයෙමු. හැමදාම හිනාවෙන, උසුළු විසුළු කරපු නමවත් නොදන්නා කොල්ලන් කෙල්ලන් තුවාල ලබා රෝහල් ගත කෙරිණි. වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානය, ප්‍රථමාධාර ඒකක, රතු කුරුස කූඩාරම පවා මැරයෝ කඩා බිඳ දැමූහ.

පොලිස් නිලධාරී දේශබන්දු තෙන්නකෝන් බලා සිටියේය, මන්ත්‍රීවරු ප්‍රහාරය මෙහෙයවූහ. දන්නා අඳුනන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු පොලු මුගුරු රැගෙන අප අතරට පැන්නේය. ඔළු පැලුවේය. පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළේය. ඒ කළේ ද මැරයන් දෙසට නොවේ. සාමකාමී අරගලයක යෙදී සිටි අපගේ සහෝදර සහෝදරියන් දෙසටය. මැරයන්ගේ ප්‍රහාරයත්, පොලිස් ප්‍රහාරයත් දෙකම විඳින්නට සිදුවිය.

පොහොට්ටුවේ මැරයෝ කූඩාරම් ගිනිබත් කළහ.

“ගෝඨාගෝගම” අරගලයට ලක්ෂ ගණනක් ජනතාව තමන්ට හැකි පමණින් පැමිණ සහභාගී වූහ. මේ අසීරු අවස්ථාවේ දී හැකි සෑම උපකාරයක් ම කළහ. එහෙත් වැඩි දෙනකුට එන්නට ලැබුණේ නැත. ඔවුන් කිසිම අවස්ථාවක ‍ගෝඨාගෝගමට නොපැමිණිය ද ඔවුන් හදවතින් එහි ජීවත් වූ බව මෙ‍හොතකින් සක්සුදක් සේ පැහැදිළි වන්නට විය.

මොහොතකින් රටේ සාමාන්‍ය ජනතාව මේ මැර බලයට එරෙහිව නැගී සිටින්නට වූහ. ලොකු ලොකු කාර්යාලවල ලොකු පොඩි මිනිසුන් ගාලු මුවදොර පිටිය දෙසට ලහි ලහියේ පැමිණියහ. කොළඹ නිවෙස්වල වැසියෝ ද තම අතට අසුවන දෙයක් රැගෙන පිට්ටනියට ආහ.

අපේ ජීවිත බේරුනේ, අර උස ගොඩනැගිලිවල සිටි කම්කරුවන්, කාර්යාල සේවකයින්, හතර වටින් අරගල භූමියට ආ නිසාය. ප්‍රහාරයකින්ට පන්න පන්නා ගහන්නට ඔවුන්ට ධෛර්ය තිබූ නිසාය. සාගතයෙන් සිටින, මිනිසුන්ගේ පා මුළටම ප්‍රහාරයක් එල්ලවිය.

මොහොතකින් සියල්ල වෙනස්විය.

කතා බහ කර ඉතාමත් හොඳ සාකච්ඡාවකින් බේරාගත හැකිව තිබූ ආදරය කැටිවූ සාමකාමී අරගලය සැබැවින්ම සමානාත්මතාවයේ අරගලයකි.

එතැන ස්ත්‍රී පුරුෂ බේදයක් තිබුණේ නැත. ජාති ආගම් බේදයක් තිබුණේ නැත. උස් පහත් මිටි කිසිදු බේදරයක් නොතිබුණු එතැනට පැමිණි මැරයන්ට පසු බසිනවා හැර වෙනත් කරන්නට දෙයක් තිබුණේ නැත.

අරගලයට පහරදීමට පැමිණ පසුව බේරේ වැව අසළ ගුටිකන මිනිසකු බේරාගැනීමට ගියවිට ගුටිකන්නට වන තැනට අප ද පත්විය.

අපි මීට බොහෝ කලකට පෙර රටේ ආර්ථිික අර්බුදය ගැනතත්, ආහාර අර්බුද ගැනත් ඒ තුළින් නිර්මාණය විය හැකි  දේශපාලන අර්බුද ගැනත් කීවෙමු.

නමුත් රට කරවූ ඇත්තන් ඊට යහපත් ප්‍රතිචාරයක් දැක්වූයේ නැත.

නෑසූ කන්ව සිටියහ.

මිනිසුන්ට කන්නට නැත, බෙහෙත් නැත, කිරි ඉල්ලා අඩන දරුවන්ට, රෝගී වැඩිහිටියන්ට අවශ්‍ය දෑ ඇත්තේම නැත.

සිහිබුද්ධිය ඇති මිනිහෙක් මේ සාමකාමී අරගලය මැඩලන්නට උත්සහ කරන්නේ නැත.

නමුත්, මේ තකතීරු නායකයින් එය සිදු කළේය.

මේ ප්‍රචණ්ඩත්වය නැවැත්විය යුතුය. නැතිනම් ගිනි ගන්නේ අපේ දරුවන්ගේ දේශයයි. ජාත්‍යන්තරයේ හුදකලා වන්නේ අපගේ මව්බිමයි.

මේ විනාශය, මේ අර්බුදය තවදුරටත් අපේ රටට දැරිය නොහැකි දෙයකි.

දේපල හානි කිරීම වහාම නැවැත්විය යුතුය.

කවර ආකාරයෙන් වුව ද ඒ විනාශ වන්නේ ජාතික ධනයයි.

මේ අරගලය නැවැත්විය හැක්කේ අරගලයේ මූලික ඉල්ලීමම ඉටුකිරීමෙන් පමණි.

අරගලයේ තේමාව අප අමතක කළ යුතු නැත.

ගෝඨභය දැන් ඇති. ගෙදර යනු.

යන්නේ නැතිනම් පන්නා දැමෙනු ඇත

හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් ‍facebook හි තැබූ සටහනක සංස්කරණය කරන ලද අනුවාදයකි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!