spot_img
spot_imgspot_img

අන්තර්වාර රජයේ අගමැතිධූරය කරු ජයසූරියට ?

පුවත්

විදෙස්

අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් එහි අග්‍රාමාත්‍යධූරය සඳහා කරු ජයසූරිය පත්කිරීමට බොහෝ පාර්ශව දැනටමත් එකඟ වී ඇතැයි වාර්තා වේ.

හිටපු ඇමතිවරයකු මෙන් ම කතානායකවරයකු ද වූ දේශමාන්‍ය කරු ජයසූරිය මේ වනවිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු නොවන බැවින් සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී මයන්ත දිසානායක සිය මන්ත්‍රීධූරයෙන් ඉවත් වී කරු ජයසූරිය එම පුරප්පාඩුවට පත්කිරීමට ද තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් මහානායක හිමිවරු වෙත ඉදිරිපත් කළ යෝජනා 13ට අනුව මෙම සර්ව පාක්ෂික ආණ්ඩුව නිර්මාණය කිරීමට නියමිතය. මේ වනවිටත් පාර්ලිමේන්තුවට ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයක් ඉදිරිපත් කර ඇති විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වන සමගි ජන බලවේගය ද ඊයේ (07) එම යෝජනා ක්‍රියාත්මක කිරීමට එකඟතාව පළකර තිබේ.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යධූරය භාරගන්නා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට නිල වශයෙන් ඊයේ දැනුම් දී තිබූ අතර ඒ සම්බන්ධයෙන් තමන්ට තනි තීරණයක් ගත නොහැකියැයි සජිත් ප්‍රේමදාස පවසා තිබිණි.

ඊයේ (07) රැස්වූ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු කණ්ඩායම කරන ලද සාකච්ඡාවකින් අනතුරුව ශ්‍රී ලංකා නීතිඥ සගමයේ යෝජනා අනුව ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට එකඟතාව ප්‍රකාශ කර ඇත.

පාර්ලිමේන්තුවේ සියලු පක්ෂවල සහභාගීත්වයෙන් නිර්මාණය කරන ජාතික ආන්ඩුවකට තනි පක්ෂයක නායකයකු පත්කිරීමට වඩා සියල්ලන්ටම පිළිගත හැකි පුද්ගලයකු පත්කිරීමේ වැදගත්කම හේතුවෙන් කරු ජයසූරිය කෙරෙහි අවධානය යොමු වී ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

ආර්ථික අර්බුධයෙන් ගොඩ ඒමේ වැඩපිළිවෙලකට නායකත්වය දීමට අත්දැකීම් සහිත, පරිණත, ජාත්‍යන්තරය සමග ඉතාම හොඳ සම්බන්ධතා ඇති, දූෂණ චෝදනා කිසිවක් නොමැති, පක්ෂ දේශපාලනයෙන් ඉවත්ව සිටින, සියලුම දෙනාට පිළිගත හැකි නායකයෙකු අවශ්‍ය බව ආගමික නායකයන්, නීතිඥ සංගමය ඇතුළු අනිකුත් බොහෝ පාර්ශවවල මතය වී තිබේ.

ඒ අනුව කරූ ජයසූරිය පාර්ලිමේන්තුවට පත්කරගැනීම සඳහා සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා ඉල්ලා අස්වීමට යෝජනා වී ඇති අතර අවශ්‍යතාවයක් වුවහොත් තමන් ද කරූ ජයසූරිය වෙනුවෙන් පාර්ලිමේන්තු ආසනය ලබාදීට සූදානම් බව හරීන් ප්‍රනාන්දු ද දැනුම් දී ඇති බවත් වාර්තා වෙයි.

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, නියෝජ්‍ය නායක යන තනතුරු දරා ඇති කරු ජයසූරිය මේ වනවිට දේශපාලනයෙන් විශ්‍රාම ලබා ඇති අතර සාධාරණ සමාජයක් ජාතික ව්‍යාපාරයේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියි.

1940 සැප්තැම්බර් 29 වැනි දා උපන් කරු ජයසූරිය මේ වනවිට 81 වැනි වියෙහි පසුවෙයි.

ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ඉල්ලා අස්වුවහොත් ඒ සඳහා කරු ජයසූරියට ඕනෑම අවස්ථාවක දිවුරුම් දීමේ හැකියාව ඇති අතර පාර්ලිමේන්තුව 16 වැනි දා රැස්වීමට පෙර ඔහු අගමැතිවරයා ලෙස පත්කිරීමේ හැකියාව ජනාධිපතිවරයාට තිබේ.

2 COMMENTS

  1. වල පයයි ගොඩ පයයි තියෙන අයෙකු පත් කිරීම තවත් අරගලයකටමුල පිරීමක්ද?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!