ශ්‍රී ලංකාවේ වත්මන් තත්වය සහ ආණ්ඩුව ගෙන යන මර්ධනකාරී වැඩපිළිවෙල සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය (SLMA) දැඩි කනස්සල්ල ප්‍රකාශ කර තිබේ.
එම සංගමයේ සභාපති මහාචාර්ය වෛද්‍ය සමත් ඩී. ධර්මරත්නගේ අත්සනින් යුතු මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ඒ බව ප්‍රකාශ කරයි.
සාමකාමී උද්ඝෝෂකයන්ට එරෙහිව කඳුළු ගෑස් භාවිතා කිරීම වෛද්‍ය සංගමය තරයේ හෙළා දැක තිබේ. එය බලධාරීන් විසින් සාමකාමී ජනතාව ප්‍රචණ්ඩත්වයෙන් මර්ධන කිරීමට ගන්නා උත්සාහයක් බවත් විරෝධතාකරුවන්ට මෙන්ම සෙසු පුද්ගලයන්ටත්, කඳුළු ගෑස්වල අඩංගු රසායනික ද්‍රව්‍ය ශ්වසන අපහසුතා, ඇස් දැවිල්ල ඇතිකිරීමට අමතරව සම මතුපිටට බලපෑම් සහ සැළකිය යුතු සෞඛ්‍ය අවදානමක් ඇතිකරන බව වෛද්‍ය සංගමය එම නිවේදනයේ සඳහන් කර තිබේ.
මෙය ආපසු හැරවිය නොහැකි හානියක් බැවින් අහිංසක පුරවැසියන්ගේ යහ පැවැත්මට හානිකර ලෙස මෙය භාවිතා කිරීම සහ විරෝධතාකරුවන්ට තුවාල සිදුවන ආකාරයේ කටයුතු කිරීම ද වෛද්‍ය සංගමය තරයේ හෙළා දකී.
එමෙන් ම රටේ සාමාන්‍ය ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරනු ලබන හදිසි නීතිය පැනවීමේ තීරණය වහාම හකුළා ගන්නා ලෙස ද වෛද්‍ය සංගමය රජයට බලපෑම් කරන බව මාධ්‍ය නිවේදනයේ දක්වා ඇත.
“අපි රජයේ බලධාරීන්ගෙන් ඉතාමත් ඕනෑකමින් ඉල්ලා සිටින්නේ ජනතාවගේ හඬට කන් දී රටේ පවතින මේ අර්බුදය විසඳීමට කඩිනම් වැඩපිළිවෙලක් ගන්නා ලෙසයි. අපගේ ආදරණීය මාතෘ භූමිය විනාශ වන්නට නොදී සියලු දෙනා එක්වී ස්ථිර වැඩපිළිවෙලකට යොමුවනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
