පොලිසිය විසින් වෙඩි තබා 09 දෙනකු ඝාතනය කර 75 දෙනකුට තුවාල සිදුකරනු ලැබූ 1953 හර්තාලයෙන් පසු දීප ව්‍යාප්ත හර්තාලයක් ක්‍රියාත්මක වූයේ අද 2022 මැයි මස06 වැනි දා ය.
එදා හර්තාලයට හේතු වූයේ ශත 25ට තිබූ හාල් සේරුවා ශත 75ක් දක්වා හදිසියේ ම ඉහළ දැමීමයි.
අද හර්තාලයට හේතු වී ඇත්තේ අත්‍යාවශ්‍ය භාණ්ඩ රැසක හිඟය, ඒවායේ මිල වැඩිවීම මෙන්ම රට මුහුණ දී ඇති දැවැන්ත ආර්ථික අර්බුදයයි.
එදා 1953දී සිදු වූ හර්තාලයේ ආරම්භය සටහන් වූයේ ගාල්ල දිස්ත්‍රික්කයේ කරන්දෙණිය බොරකන්දේ දී ය.
මේ සටහන එදා හර්තාලයේ නිරත වූ පිරිස් සොයා අප එහි ගිය ගමනක විස්තරයකි.
කරන්දෙණිය නගරයට ගිය මම එහි සිටි වයස්ගතම තැනැත්තෙකුගෙන් එදා හර්තාලය ගැන විමසා සිටියෙමි.
“අනේ මහත්තයෝ මට නම් ඒ ගැන එච්චර මතකයක් නෑ” ඔහුගේ පිළිතුරයි.
ඒ අසන්නයේ ම බයිසිකල් වැඩපළක් පවත්වාගෙන යන විමලසේන ජයවර්ධන මට පැහැදිළි තොරතුරක් ලබාදුන්නේය.
“හර්තාලය සිදුවුණේ කරන්දෙණිය බොරකන්දෙ තිබුණු සෙනසුරාදා පොළ ළඟ. බොරකන්දෙ දැන් පොළක් නෑ. මහත්තයා පොළ තිබුණු තැන සොයාගෙන යන්න. එතකොට විස්තරයක් හොයාගන්න පුළුවන්. ඒ කාලේ මගේ වයස අවුරුදු 06ක් විතර ඇති. ඉතින් මම දන්නේ එක එක්කෙනා කියපු කතා. හර්තාලේ දවසේ හොඳ හොඳ දේවල් වුණා කියලා කියනවා.”
ඔහු කියූ දේ සත්‍යයකි. දැන් බොරකන්ද පොළක් නැත. මඟ තොටේ කිහිප දෙනකුගෙන් ම විමසා පොළ තිබූ තැන සොයාගත හැකිවිය. එදා පොළ තිබූ තැන දැන් නිවාස ඉදිවී තිබේ.
එහි නිවසක සිටි විමලා වීරසිංහ මෙසේ කීවාය.
“අපි එතකොට පොඩි ළමයි. මේ ගැන කතා කරනවා අපි අහගෙන හිටියා. රොටි පුච්චනව කියන කතාවට අපි බලන්න ගියා. ඒත් දැන් ඒ ගැන වැඩි මතකයක් නෑ. පාපරට ගස් කපල දාලා මර්ග හරස් කරලා ඒ හර්තාලය කරා. අපි ඉතින් බලා සිටියා. සම්බන්ධ වුණේ නෑ.”
කේ.ඩී.සයිලින් මෙසේ කිවාය.
“53 හර්තාලය කරන විට මට අවුරුදු 10ක් වයසයි. අම්මලා තාත්තලා එක්ක මාත් හර්තාලේ බලන්න ගියා. ගොඩක් සෙනඟ පොළ ළඟට එකතු වෙලා හිටියා. පාරේ යන වාහන ඔක්කොම නැවැත්තුවා. පාර මැද ලිප් බැඳලා ගෑනු අය රොටි පිච්චුවා. හර්තාලෙ කරපු අය එළවන්න පොලිසියෙන් ආවම අපි ගෙවල්වලට ආ බව නම් මතකයි.”
ලයනල් අබේරත්න අපට හමුවූයේ බොරකන්ද පොළ තිබූ තැන ම ඇති තේ කඩයකදී ය. ඔහු පවසන්නේ මෙවැනි කතාවකි.
“මට එතකොට වයස 11යි. මම හර්තාලේ වෙලාවේ එතැන හිටියා. අපි කොල්ලෝ කුරුට්ටෝ ඉතින් විනෝදෙට ආවේ. අපිට මේවයේ නිච්චියක් තිබුණේ නෑ. එදා 1953 අගෝස්තු 12 වැනි දා. ඒ දවස්වල බද්දත් එක්ක හාල් සේරුව ශත 26යි. ඒක හිටි හැටියේම ශත 72ක් කළා. ඒකට විරුද්ධව මේ හර්තාලයට සියෝනිස් මැම්බර් මහත්තයා තමයි මිනිස්සුන්ව පෙළඹෙව්වේ. උදේ 8.30ට විතර බොරකන්ද පොළ ළඟට මිනිස්සු 150ක් විතර ඇවිත් කෑ ගහමින් උද්ඝෝෂණයක් කළා. උදේ 10.00 විතර වෙන කොට මේ කණ්ඩායම 1,000ක් විතර වුණා. රූබෙල් සිල්වා කියලා කෙනෙක් පාර අයිනේ තිබුණු ටෙලිෆෝන් කණු පාට පෙරළලා දැම්මා. වහනවලට යන්න දුන්නේ නෑ. ටික වෙලාවක් යනකොට ඇල්පිටියට යන පිටි ලොරියක් ආවා. කට්ටිය ලොරිය නවත්තලා පිටි ගෝනියක් බාගත්තා. කීපදෙනෙක් මොරකන්ද වත්තට ගිහින් පොල් කඩාගෙන ඇවිත් පාර මැද තියාගෙන ම රොටි පුච්චලා කෑවා. එදා රොටි පිච්චුවේ වයස අවුරුදු 40-50 හිටපු අය අද ඒ අය ජීවතුන් අතර නෑ.මමත් රොටි කෑවා. බේබිනා ආච්චියි, කොරනේලිස් සීයගේ පවුලයි රොටි පිච්චුවා මට මතකයි.”
එච්.එච්.ජීඩින් මෙසේ කියයි.
“ඒ කාලේ බස් කොම්පැනියේ මැනේජර් ඩැනී මහත්තයා බස් එක එළවගෙන එතනින් යන්න ආවාව. ඒ බස් එක නවත්ත ගත්තා. කවුද කෙනෙක් බස් එකේ ටයර් පවා කපලා තිබුණා. ඒ කාලේ ඒ බස් එකට කිව්වේ 822 බස් එක කියලා. පාරට ගස් කපලා දාලා මර්ගය හරස් කරල මේ දේවල් සිදුවෙන කොට අම්බලන්ගොඩ පොලිසියේ කණ්ඩායමක් ආවා. එයාලා සාමකාමී විදියට කිව්වා විසිරිලා යන්න කියලා. ඒත් කිසිම කෙනෙක් ගියේ නැහැ. අන්තිමේ දී පොලිසියෙන් ඇවිත් හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් වන සිඩ්නි සොයිසා මහත්තයා කිව්වා මමත් බලපිටියේ මිනිහෙක් කරුණාකරලා කලබල නවත්වන්න කියලා. ඒත් සිද්ධිය සමනය කරන්න බැරිවුණා. ඒ පොලිස් කණ්ඩායම ගියා. යන්න හදනකොට සැන්ටා කියලා කෙනෙක් පොලිසියේ කෙනෙකුට ගැහුවා. ටික වේලාවකින් අම්බලන්ගොඩ පොලිස් පුහුණු එකේ අය කුළු පොළු අරගෙන ආවා. රැස්වෙලා හිටපු අය හිතුවා පොලිසිය ආවේ ගහන්න කියලා. ඊට ඉස්සෙල්ලා ඒමිස් කියලා කෙනෙකුගේ මෙහෙයවීමෙන් රැස්වෙලා හිටපු අය බොරකන්ද පොළට ඉහළින් තිබුණු ගඩොල් ගොඩක ගඩොල් අරගෙන පොලිසියට ගැහුවා. පොලිසිය පසුබැහැලා ගියා.
එදාම ඇඳිරි නිතිය දැම්මා. පිරිස විසිර ගියා. පහුවදාත් මේ වගේම කලබල තිබුණා. එදා හර්තාලේ නායකයෙක් වුණු රූබන් ද සිල්වා 13 වැනි දා කරන්දෙණිය හන්දියේ දී පොලිසිය වෙඩි තියලා මරල තිබුණා.”
එදා මියගිය රූබන් ද සිල්වාගේ ඥාතීන් සොයා ගැනීමට මා දැඩි වෙහෙසක් ගත්තෙමි. පැය කිහිපයක උත්සායකින් පසු බොරකන්දෙන් බොහෝ ඈත කුරුඳු වත්තක් මැද ඉතාමත් දුෂ්කර දිවියක් ගතකරන කාන්තාවක් හමුවිය. ටී.එස්.සෝමාවතී නම් ඇය මියගිය රූබන්ගේ එකම දියණියයි.
“මට හර්තාලය ගැන කිසිම දෙයක් මතක නෑ. තාත්තා පොලිසියේ වෙඩි පහරින් මැරෙනකොට මගේ වයස අවුරුද්දයි. මට තාත්තගේ ඡායාවක්වත් මතක නෑ. අඩුම ගානේ ෆොටෝ එකක්වත් දැකලා නෑ. මගේ අම්මා මාව හදාගෙන තියෙන්නේ ගොඩක් දුක්විඳලා. ඒ කාලේ සම සමාජ පක්ෂයේ එල්.සී. ද සිල්වා මහත්තයා මාව හදාගන්න ඉල්ලලා තියෙනවා. ඒත් අම්මා දීල නැහැ.”
ඇයගේ නිවසේ දී මට ඇගේ ඥාතියකු හමුවූයේය. ඔහු උග්‍ර වාමාංශික මතධාරියෙකි. මේ සම්බන්ධයෙන් ඔහු පරස්පර විරෝධී අදහස් මතුකළේය. රජයේ සේවයෙන් විශ්‍රාම ලබා සිටි ඔහු තම නම පවා හෙළි කිරීමට අකමැතිය.
ඔහු මෙසේ කීවේය.
“මිනිස්සුන්ව හර්තාලයට පෙළඹෙව්වේ සම සමාජ පක්ෂය. හාල් සේරුව ශත 25 ඉදල ශත 70 දක්වා වැඩි කළා කියලයි හර්තාල් කළේ. ඒ කාලේ ශත 25ට දුන්නේ එක හාල් සේරුවයි. ශත 70ට හාල් සේරුවක් ගන්න කොට එක්ක නෙමිලේ දෙන්න තීරණය කරලා තිබුණා. එතකොට ඇත්ටම රජය හාල් සේරුව වැඩි කළේ ශත 10කින්.”
කෙසේ වෙතත් රජයක් පෙරළා දැමීමේ පළලමු වෙඩිමුරය පත්තු කළ 1953 හර්තාලය හේතුවෙන් කැබිනට් මණ්ඩල රැස්වීම ද කොළඹ වරායෙන් පිටත නවතා තිබූ නැවක පැවැත්වීමට සිදුවන තරමට ම ජනතා විරෝධය වැඩි වී තිිබිණි. හර්තාලය අතරතුර පොලිස් වෙඩි පහරින් මියගිය සංඛ්‍යාව 09 දෙනෙකි.
එදා හර්තාලය ආරම්භ කරමින් අවසානයේ ජීවිතයෙන් වන්දි ගෙවූ කරන්දෙණියේ රූබන් ද සිල්වාගේ ඡායාරූපයක් අගේ දියණිය සතුව නැත. මම එවැනි ඡායාරූපයක් සොයා සම සමාජ පක්ෂ කාර්යාලයට ද ගියෙමි. ඔවුන් වාර්ෂිකව මේ හර්තාලය සැමරුව ද රූබන්ගේ ඡායාරූපයක් නැත.
එදා මියගිය රූබන්ගේ දියණිය කුරුඳු තලන්නීය. ඇයට පියා ගැන මතකයක් නැත. එහෙත් දේශපාලකයෝ නම් අදටත් එදා හර්තාලයේ කොටස් කරුවෝ සිහිකරති.
සම සමාජ පක්ෂයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමලසිරි ද මෙල් හමුවීමට මට අවස්ථාවක් ලැබිණි. එදා ඔහුගෙන් මේ ගැන විමසූ විට මෙසේ කීවේය.
“අපි හර්තාලය වරින් වර සමරනවා. අපි එදා හර්තාලය සඳහා ජනතාව පෙළගස්වන විටඅපිටත් පාලනය කරගත නොහැකි තරමට ජනතාව බලවේගයක් වී නැගී සිටියා. ඒ හර්තාලය අද පවත්වන වැඩ වර්ජනයක් වගේ නෙවෙයි. සැබෑ ජනතා නැගිටීමක්. එවැන්නක් ලංකාවේ නැවත සිදුවී නෑ. හර්තාලයේ ආසන්නම ප්‍රතිඵල ගොඩක් තිබුණා.
හර්තාලයේ ආසන්නම ප්‍රතිඵල ගොඩක් තිබුණා. නිදහසින් පසු ප්‍රථම වතාවට හදිසි නීතිය පැනවූවා. මොරටුව නගර සභාව සම සමාජ පක්ෂයට බලය තිබුණු නගර සභාවක්. ඒක විසුරුවා හැරියා. කැබිනට් රැස්වීම නැවක තබන්න වුණා. අන්තිමේ දී ඩඩ්ලි සේනානායක අගමැතිධූරයෙන් ඉල්ලා අස්වුණා. 1956 දී එක්සත් ජාතික පක්ෂ රජය බිඳවැටෙන්න ප්‍රධාන හේතුව වුණේ මේ හර්තාලය.
අද නැවතත්ත 1953න් පසු පළමු වරට දීප ව්‍යාප්ත හර්තාල ආරම්භ වී තිබේ. එදා සිදුවූ දේශපාලන පෙරැළි මෙන් හෙට දවසේ තවත් දේශපාලන පෙරැළි සිදවනු ඇත්දැයි අප දන්නේ නැත. නමුත් ජනතාව අපේක්ෂා කරන්නේ දැවැන්ත වෙනසකි. ඒ සඳහාම ඔවුහු හර්තාලයේ යෙදෙති.
(මෙය වසර කිහිපයකට පෙර මා විසින් එම බොරකන්දට ගිය ගමනක අත්දැකීමකි)
සජීව විජේවීර
හොද අතීතයක්.ඉතිහාස කතාවක්.