spot_img
spot_imgspot_img

ආණ්ඩුවේ “මළබත” උයන හර්තාලය. විරෝධතා කවි, ගී, නාට්‍ය හා සිතුවම් එළි දකී

පුවත්

විදෙස්

හෙට දිනයේ දීප ව්‍යාප්ත හර්තාලයක් ක්‍රියාත්මක වෙමින් පවතී. මෙවැනි දීප ව්‍යාප්ත හර්තාලයක් ගැන ඇති හොඳම අත්දැකීම නම් 1953 අගෝස්තු මාසයේ පැවැති හර්තාලයයි. වාමාංශික දේශපාලන පක්ෂ එයට නායකත්වය දුන් අතර එදා සිටි අගමැති  ඩඩ්ලි සේනානායකට ඉල්ලා අස්වීමට පවා සිදුවන තරමට ම ඒ ජන අරගලය දුරදිග ගියේය.

ශ්‍රී ලංකාවට හර්තාල අමුතු අත්දැකීමක් නොවේ. 1953 අගෝස්තු හර්තාලයට පෙර ද ඉන් පසුව ද මෙරට හර්තාල රැසක් ක්‍රියාත්මක වී ඇතත් ඒවා දීප ව්‍යාප්ත හර්තාල නොවේ. 1953ට පෙර දී ද යාපනයේ ජනතාව හර්තාල සිදුකළ අතර මෙරට හර්තාල ඉතිහාසයේ ඉතාමත් සුවිශේෂී මතකයන් යාපනයේ තිබේ. ත්‍රිකුණාමලය, මඩකලපුව පමණක් නොව වතුකරයේ ද හර්තාල ව්‍යාපාර විශාල සංඛ්‍යාවක් සිදුවිය. උතුරේ වර්ගවාදී යුද්ධය ක්‍රියාමත්මකවන අවස්ථාවල දී ද කඩ සාප්පු වසා දමා කළු කොඩි ඔසවා කාර්යාල වැඩබිම් වසා හර්තාල වරින් වර ක්‍රියාත්මක කිරීම එල්ටීටීඊ සංවිධානයේ මෙහෙයවීමෙන් ද සිදුකෙරිණි.

ශ්‍රී ලංකාවේ දෙමළ කතාකරන ජනතාව අතර හර්තාල යන්න ප්‍රචලිතව ඇත්තේ ඉන්දියාවේ අභාෂයෙන් විය යුතුය. ඉන්දියාවේ නිදහස් සටනේ දී මහත්මා ගාන්ධි ප්‍රමුඛ අවිහිංසා ව්‍යාපාර අධිරාජ්‍යවාදීන්ට විරුද්ධව දැවැන්ත හර්තාල මාලාවක් සිදුකළහ. එහි දී ජනතාව පාරට බැස රජයට විරෝධය දැක්වීමට අමතරව ඇතැම් දිනවල දී සාමාන්‍ය නීති උල්ලංඝනය කිරීම් දක්වාම දුරදිග ගිය හර්තාල ඉතිහාසයක් ඉන්දියාව සතු වෙයි.

නමුත් ශ්‍රී ලංකාවේ හර්තාල එතරම් දරුණු වී නැත.

හෙට පැවැත්වෙන හර්තාලය සම්බන්ධයෙන් මේ වනවිට අප වෙත ‍ලැබී ඇති තොරතුරු අනුව එය වඩාත් නිර්මාණශීලී හර්තාලයක් බවට පත්වන ලකුණු පෙනෙන්නට තිබේ.

ඇතැම් නගරවල කළු කොඩි ඔසවා, කඩ සාප්පු වසා දමා ජනතාව මහ පාරට රැස්වී මලබත උයන්නට සූදානම් කර තිබේ.

2019 දී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණය ජයගත් අවස්ථාවේ දී සහ 2020 මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයගගත් අවස්ථාවේ දී පාරවල්වල කිරිබත් ඉවූ ජනතාව දැන් ආණ්ඩුවේ මළගම සංකේතවත් කරමින් මලබත උයන්නට සැළසුම් කිරීම විශේෂත්වයකි.

ජනතාව පවසන්නේ කිසිම ස්ථානයක කිරිබත් උයන්නේ නැති බවයි.

කඩවත කිරිල්ලවල හන්දියේ හෙට 2000කට පමණ පිරිසක් සඳහා මළ බත උයන්නට සියල්ල සැළසුම් කර තිබේ. එමෙන් ම කිරිල්ලවල සිට යක්කල දක්වා සියලු කඩසාප්පුවල කළු කොඩි එසවීමටත්, කඩවත නගරයත් එලෙසම කළු කොඩි ඔසවා විරෝධය දැක්වීමටත් සූදානම්ව සිටියි.

දැරණියගල නගරයට තුන් පැත්තකින් පා ගමන් තුනක් සංවිධානය කර තිබේ. ඒවායේ දී සටන් පාඨ කියමින් රජයට විරෝධය දක්වන පුවරු රැගෙන ඔවුන් පැමිණීමට නියමිතය.

ගාල්ල නගරයේ දී ද හෙට උදෑසන සිට හර්තාලය වෙනුවෙන් ම විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක වෙයි. නගරයේ සියලු වෙළෙඳ සැල් වසා දැමීමට තීරණය කර ඇති අතර දුම්රිය ස්ථානය අසළට ජනතාව රැස්වීමට ද සැළසුම් කර තිබේ.

බදුල්ල නගරයේ හර්තාලය පැවැත්වෙන්නේ වෙනස් ස්වරූපයකිනි. වීල්ස්පාක් ඉදිරිපිට මහජන පුස්තකාලය අසළට උදේ 10.00ට රැස්වන අතර වීදි චිත්‍ර ඇඳීම, විරෝධතා ගී ගැයීම, බැනර් අත්සන් කිරීම, වීදි නාට්‍ය සහ විරෝධතා දක්වන සංස්කෘතික අංග රැසක් හෙට දිනයේ පැවත්වීමට නියමිතය. එය උද්ඝෝෂණ රැළියක ස්වභාවය ගනු ඇතැයි සංවිධායකවරු කියති.

දොඩම්ගස්ලන්ද පුරවැසි එකමුතුව සංවිධානය කරන හර්තාලයක් රිදීගම නගරයේ දී හෙට උදෑසන 10.00ට ආරම්භ වීමට නියමිතය.

දුම්මලසූරිය, තඹුත්තේගම, කොට්ටාව, කුණ්ඩසාලේ, නොච්චියාගම, ආරච්චිකට්ටුව, මැදවච්චිය ආදී රටේ සෑම ප්‍රදේශයක ම හර්තාල පැවැත්වීමට සූදානම්ව සිටිති.

මේ අතර වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සන්ධානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ වෛද්‍යවරුන් ද හෙට දිනයේ හර්තාලයට එක්වන බවයි. එමෙන් ම විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ද ඊයේ (04) විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා තම දායකත්වය ලබාදුන්න ද අනිකුත් සියලු සේවාවන්වලින් ඉවත්වන බවයි. මීට අමතරව හර්තාලය පැවැත්වෙන හෙට දිනයේ සියලු චැනල් සේවාවලින් ඉවත්වන බව ද ‍විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ප්‍රකාශ කර තිබේ.

මීට අමතරව ගුරු විදුහල්පති වෘත්තීය සමිති එකමුතව ද තම සියලු වෘත්තීය සමිති හර්තාලයට සහය දක්වන බව ප්‍රකාශ කිරීමත් සමඟ හෙට (05) දිනයේ පාසල් පවත්වාගෙන යාම ද ගැටලුවක් බවට පත්ව තිබේ.

මේ අතර දුම්රිය සේවක වෘත්තිය සමිති ද හෙට (05) දිනයේ හර්තාලයට සහය දක්වමින් සේවයට වාර්තා කිරීමෙන් ඉවත්වන බව ද කියා තිබේ.

බැංකු සේවකයන්ගේ ඒකාබද්ධ වෘත්තිය සමිතිය ද හෙට හර්තාලයට සහය දක්වන අතර ගාල්ල දිස්ත්‍රික් නීතිඥ සංගමය ඇතුළු නීතිඥ සංගම් රැසක් හෙට දිනයේ අධිකරණ කටයුතුවලින් ඉවත්ව හර්තාලයට සහයෝගය දක්වන බව පවසයි.

මීට අමතරව රාජ්‍ය , අර්ධ රාජ්‍ය සහ පුද්ගලික අංශයේ වෘත්තිය සමිති 300ක් පමණ හෙට (06) පැවැත්වෙන හර්තාලයට සහය දක්වන බව දැනටමත් ප්‍රකාශ කර ඇති බැවින් හෙට දිනයේ ශ්‍රී ලංකාවේ සාමාන්‍ය කටයුතුවලට දැඩි බාධාවක් මේ හර්තාලය හේතුවෙන් සිදුවන ඇතැයි දේශපාලන විචාරකයෝ කියති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!