spot_img
spot_imgspot_img

“මේ ප්‍රශ්නය විසඳන්න, අපි දේශපාලකයන්ට බලපෑම් කරනවා” – විද්‍යුත් විකාශක සංගමය කියයි

පුවත්

විදෙස්

රටේ උද්ගත වී ඇති ආර්ථික, දේශපාලනික සහ සමාජයීය අර්බුදයට විසඳුම් සෙවීමට දේශපාලනඥයන් උනන්දු නොවන්නේ නම් දැඩි ස්ථාවරයක සිට කටයුතු කිරීමට සිදුවන බව ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංගමය පවසයි.

එම සංගමය මේ බව ප්‍රකාශ කළේ අද (03) ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමිනි.

බෞද්ධයා නාලිකාවේ සභාපති පූජ්‍ය බොරලන්දේ වජිරඥාන හිමි මෙසේ කීහ.

“රාජ්‍ය නායකයන් මේ ගැටලු සම්බන්ධ නිහතමානීව කටයුතු කරන්නේ නැහැ. තරුණ තරුණියන් මේ ගැටලුවලට විසඳුම් ඉල්ලා අරගල කරනවා. නායකයන් ප්‍රශ්න විසඳන්න ඕනේ. අපිත් තීරණය කළා මේ අර්බුදයට විසඳුම් සෙවීම සඳහා රජයට බලපෑම් කළ යුතුයි කියා.”

විද්‍යුත් විකාශකයන්ගේ සංගමයේ සභාපති අසංක ජයසූරිය

“මාධ්‍ය ආයතනවලට දැඩි තීන්දු ගන්න වෙයි. මේ අර්බුදය ගැන ජනතාව නිවැරදිව දැනුම්වත් කරන්න ඕනෑ. ඒ සඳහා මාධ්‍යයට ගෙන්වන දේශපාලනඥයන් කවුද කියා අපිට තීරණය කරන්න වෙනවා.”

එම සංසදය මාධ්‍ය නිවේදනයක් ද නිකුත් කරමින් මෙසේ කියා සිටියි.  

ශ්‍රී ලංකාව අතිශය බැරෑරුම් ආර්ථික, දේශපාලන සහ සමාජයීය අභියෝග රැසකට මුහුණ දී ඇති මේ අවස්ථාවේ ශ්‍රී ලංකාවේ මාධ්‍ය කර්මාන්තයෙන් වැඩි කොටසකට හිමිකම් කියන විකාශකයින් ලෙස අපගේ මැදිහත්වීම ද රට වෙනුවෙන් සාධනීය ලෙස ඉටුකිරිමට සංගමයක් ලෙස තීරණය කළෙමු. හැමදාමත් අපට ශක්තියක් වූ අපගේ ප්‍රේක්ෂකන් වන මෙරට සුවහසක් ජනතාව දැඩි දැඩි දුෂ්කරතා අත්විදින මෙවන් අවස්ථාවවක දී ඔවුන් වෙනුවෙන්  අපගේ වගකීම සහ යුතුකම ඉටුකිරීම සඳහා මේ මොහොතේ සියලු ම විකාශන ආයතන සාමූහික කාර්යයකට එළැඹ ඇත. 

ශ්‍රී ලංකා විකාශකයන්ගේ සංසදයේ සාමාජිකත්වය අතර දීර්ඝ සාකච්ඡා මාලාවකින් සහ දෙස් විදෙස් ක්ෂේත්‍ර ප්‍රවීනයන්ගෙන් අදහස් සහ යෝජනා ලබාගැනීමෙන් පසු විකාශන මාධ්‍යකරුවන් ලෙස මේ මොහොතේ අපේ වගකීම සහ යුතුකම ඉටුකිරිම සඳහා සියලු විකාශකයන්ගේ දායකත්වය සහ මැදිහත්වීම අවම වශයෙන් ඉදිරි මාස 12ක කාලයක් තුළ ඒකාබද්ධ වැඩපිළිවෙලක් ලෙස ක්‍රියාත්මක කිරීමට තීරණය කළෙමු.

රටේ ආර්ථික අර්බුදයක් ඇතිවීමෙන් පසු සිදුවූ වැදගත් ම සිද්ධිය වූයේ නව මහබැංකු අධිපතිවරයෙක් සහ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයෙක් පත්වීමයි. මේ නිලධාරීන් පත්වූ දිනයේ ම ශ්‍රී ලංකාවේ සෑම විද්‍යුත් නාලිකාවක් ම පාහේ සම්බන්ධ කරගෙන නව නිලධාරීන් දෙදෙනාගේ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳ පොදු වැඩසටහනක් විකාශය කිරීමට අපි අප්‍රේල් 08 දා කටයුතු කළෙමු.

එම වැඩසටහනේ දී විශේෂයෙන් ම නව මහබැංකු අධිපතිවරයා පළකළ අදහස් සහ රටේ ඉදිරි ආර්ථික වැඩපිළිවෙල සැළකිල්ලට ගනිමින් පහත සඳහන් ප්‍රධාන එකතාවන්ට එළැඹීමට අප සංගමය තීරණය කර ඇත.

  1. ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවීමට සියලු දේශපාලන පක්ෂවලට බලපෑම් කිරීම.
    1. නව මහ බැංකු අධිපතිවරයාත්, මුදල් අමාත්‍යාශය ‍ලේකම්වරයාත් අපගේ ඒකාබද්ධ වැඩසටහනේ දී පුන පුනා ප්‍රකාශ කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත්විමෙන් ඉදිරි කාලය තුළ ක්‍රියාත්මක වන ආර්ථික ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ස්ථාවර ආණ්ඩුවක අවශ්‍යතාවක් ඇති බවයි. මේ කාරණය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ද අවධාරණය කර ඇත. නමුත් මේ වනතෙක් රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ ඒ සඳහා සාධනීය පියවරක් ගෙන ඇති බවක් පෙනෙන්නට නැත. ඒ නිසා අද පටන්, අපගේ සියලු ප්‍රවෘත්ති හා කාලීන වැඩසටහන් මේ කාරණය සම්බන්ධයෙන් ඉලක්ක ගතවනු ඇත. විශේෂයෙන් ම ඇතැම් නාලිකා විසින් දේශපාලනඥයන් වැඩසටහන්වලට (ප්‍රවෘති නොවේ) සම්බන්ධ කර නොගැනිමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරන අතර සංසදයක් වශයෙන් අප ද මෙම වැඩසටහන්වල දී වෘත්තිකයන්, තාක්ෂණවෙදීන් සහ විෂය ක්ෂේත්‍රවල ප්‍රවීණයන්ට ප්‍රමුඛතාව දීමට තීරණය කර ඇත.
  2. ඉදිරි මාස කිහිපය තුළ රටේ සිදුවිය හැකි තත්වයන්ට ජනතාව සූදානම් කිරිම
    1. ඉහත සඳහන් කළ, නව මහබැංකු අධිපතිරවයාත්, මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාත් සහභාගී වූ වැඩසටහනේ දී මතුකළ තවත් කරුණක් වූයේ ඉදිරි මාස කිහිපය තුළ රටේ ආර්ථික අර්බුදය තව තවත් උග්‍ර විය හැකි බවයි. එමෙන් ම අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ නිර්දේශ ක්‍රියාත්මක කිරිමේ දී ද, රටේ විවිධ අංශවල ව්‍යුහාත්මක වෙනස්කම් ඇතිවිය හැකි බැවින්, ජනතාව ඒ පිළිබඳ කලින්ම දැනුම්වත් කිරීම සහ සමාජය ඒ සඳහා සූදානම් කිරීමත් ජනතාවට තොරතුරු සපයන්නන් වන අපගේ ප්‍රමුඛ වගකීමක් යැයි අපි කල්පනා කරන්නෙමු. එබැවින්, මෙතැන් පටන් අපගේ සියලු වැඩසටහන්වල ප්‍රමුඛතාව වන්නේ ආර්ථික, දේශපාලනික සහ සමාජයීය අර්බුදය පිළිබඳ ජනතාව නිවැරදිව දැනුම්වත් කිරීම සහ ඉදිරියේ ඇතිවිය හැකි ප්‍රශ්නවලට මුහුණ දීමට ජනතාව සූදානම් කිරීම වනු ඇත.

ජාත්‍යන්තර මාධ්‍ය නිදහස් දිනය වන අද (මැයි 03) අප මේ ක්‍රියාමාර්ගවලට එළැඹෙන්නේ ජනමාධ්‍යයේ මූලික වගකීම වන මහජන සුබ සිද්ධිය (Public Interest) යන මූලික සිද්ධාන්තය පදනම් කරගනිමිනි. මේ කටයුත්තේ දී ප්‍රේක්ෂක සැමගේ ද සක්‍රීය දායකත්වය අපට වැදගත් වන බැවින්, රට මුහුණ දී ඇති අතිශය බැරෑරුම් මේ අවස්ථාවේ දී රටට සහ ජනතාවට වගවන මාධ්‍ය සම්ප්‍රදායක් ඉදිරියට පවත්වාගෙන යාම සඳහා සියලු පුරවැසියන්ගේ සහය ද අපි බලාපොරොත්තු වන්නෙමු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!