spot_img
spot_imgspot_img

දැවැන්ත අලි මඩුවෙක්, මිරිස්සේ දී මසට විකුණයි. රටට අපකීර්තියක් ගෙනෙන වෙළඳාමක්

පුවත්

විදෙස්

ලෝකයේ ඉතාමත් දුර්ලභ සහ වඳවීයාමේ තර්ජනයට ලක්ව ඇති “අලි මඩුවකු” ඊයේ (01) වැලිගම, මිරිස්ස ධීවර වරායේ දී රුපියල් 176,000.00 මුදලකට වෙන්දේසි කර ආහාර සඳහා විකුණා දමා තිබේ.

මෙය ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර වශයෙන් දැඩි අපකීර්තියක් ගෙන දෙන වෙළඳාමක් බවට පත්ව ඇත. ලෝකයේ රටවල් රැසක් අලි මඩුවන් ඇල්ලීම, මැරීම සහ අළෙවිය නීතියෙන් තහනම් කර තිබිය දී ශ්‍රී ලංකාවේ තවමත් ඒ සඳහා නීති සකස් කර නොමැත.

මිරිස්ස ධීවර වරාය පවසන්නේ “සෙහංසා” නමැති බහුදින ධීවර යාත්‍රාව මුහුදු සැතපුම් 25ක පමණ දුරක දී එලන ලද දැලකට මේ අලි මඩුවා හසු වී ඇති බවයි. කිලෝ ග්‍රෑම් 800ක් පමණ බරැති එම මඩුවා ධීවර යාත්‍රාව මතට ගැනීම අපහසුවීම හේතුවෙන් එම ධීවරයන් පැය 15කට වැඩි කාලයක් තිස්සේ අලි මඩුවා දැල සමඟ ගොඩබිමට ඇදගෙන පැමිණ ඇත.

ඊයේ උදෑසන මිරිස්ස ධීවර වරායට පැමිණීමෙන් පසු විශාල දොඹකරයක් ආධාරයෙන් අලි මඩුවා ජැටියට රැගෙන ඇති අතර එම ස්ථානයේ පැවැත්වූ වෙන්දේසියේ දී රුපියල් 176,000.00ක මුදලකට අළෙවි කර තිබේ.

අලි මඩුවා

අලි මඩුවන් සහ යක් මඩුවන් (Manra Ray) යනු අවදානමට ලක්වූ ත්ත්ව විශේෂයක්. ඔවුන් ලෝකයේ විශාලතම වඩුවන් අයත්වන මොබියුලිඩේ කුලයේ (Family – Mobulidae) කුලයට අයත්වනවා. මේ විශාල මඩුවන් පොදුවේ හඳුන්වන්නේ මහ මඩුවන් ලෙස. අලි මඩුවෙක් මීටර 7-8ක් පමණ හෙවත් අඩි 23ක් දක්වා පළලකට වැඩෙන අතර බර කිලෝ ග්‍රෑම් 1400 පමණ දක්වා වන බව පර්යේෂකයන් පවසනවා.
අලි මඩුවා වෙනත් බොහෝ මඩුවන් මෙන් දළ වශයෙන් රවුම් භාගයක හැඩයක් ගන්නවා. සිරුර දෙපසින් ත්‍රිකෝණාකාර වරල් යුගලත් තිබෙන අතර සිරුරේ පිටුපස ද උල් වී වලිගය සිහින් සහ දිගු කූරක් මෙන් පිහිටයා. අලි මඩුවාට විශාල මුඛයක් සහ කුඩා ඇස් දෙකකුත් මුඛය දෙපස ඉදිරියට යොමු වූ විශේෂිත පැතලි හැඩැති ව්‍යුහයන් දෙකකුත් පිහිටනවා. මේ ව්‍යුහයන් හඳුන්වන්නේ ශීර්ෂ වරල් (cephalic fins) ලෙසින්.
අලි මඩුවා ස්වසනය කරන්නේ ජලයේ ඉදිරියට ඇදෙන විට මුඛය තුලින් ඇතුල්වන ජලය තම ජලක්ලෝම (කරමල් නැතිනම් gills) හරහා යාම නිසා බැවින් සැම විටම එහාමෙහා පීනමින් කල්ගත කරන්නෙකි.

අලි මඩුවාගේ ආහාර

අලි මඩුවා මුලුමනින්ම කුඩා ප්ලවාංග මත යැපෙන්නෙකි.භෝජනයේදී මුඛය විශාල ලෙස විවෘත කරගෙන ඉදිරියට ඇදෙන විට මුඛය තුලට ඇතුල්වන ජලයේ තිබෙන ප්ලවාංග මඩුවා‍ගේ ජලක්ලෝම ආවාරයේ ඉදිරි කොටසෙන් පැනනගින ජලක්ලෝම පෝරු හෙවත් කරමල් පෝරු (gill rakers) නම් ව්‍යුහයන් එක්වී තැනී ඇති පෙරහනෙන් පෙරී මුඛයේ ඉතිරි වේ.මේ ප්ලවාංග වරින් වර ගිලදැමීම මත්ස්‍යයා විසින් සිදු කරයි.

අලි මඩුවා මිනිස් ආහාරයක් ද ?

අලි මඩුවාගේ මස් මිනිස් ආහාරයක් ලෙස එතරම් ජනප්‍රිය නොවන බැවින් ඇත්තේ අඩු ඉල්ලුමකි. නමුත්, මේ මත්ස්‍යයාගේ මෙන්ම අනෙකුත් මහ මඩුවන්ට තිබෙන මෙම කරමල් පෝරු කාලයක සිට චීනයේත්, පසුකාලීනව ලොව පුරා පැතිරගිය චීන ආහාර වෙලඳාමේත් විශාල ඉල්ලුමක් ඇති ද්‍රව්‍යයක් බවට පත්ව තිබනවා.

එහි ප්‍රතිඵලයක් ලෙස මහ මඩුවන් විශාල ලෙස දඩයමට ලක්වෙනවා. මෙහිදී වඩාත් විශාල මෙන්ම වඩාත් දුලබ අලි මඩුවා විශේෂයෙන් දඩයක්කරුවන් අතින් විනාශයට ලක්වුණා .බොහෝවිට මෙසේ මරා දමන මඩුවන් කරමල් පෝරු කපා ගෙන ඉතිරි සිරුරම ඉවතට විසිකර දමන අවස්ථාවන් පිලිබඳවත් වාර්තා වී තිබෙනවා.

සංරක්ෂිත සතකුගේ ඛේදජනක ඉරණම

ලොව පුරා මහා පරිමානයෙන් සිදුවන මහ මඩුවන් සහ අලි මඩුවන් ඝාතනයන් නිසා ඔවුන් වඳවීමේ තර්ජනයට ලක්වූ (Vulnerable)(Vu) සතුන් ලෙස නම් කරන්නට ලෝක සංරක්ෂණ සංගමය(World Conservation Union)(IUCN) විසින් 2011 වසරේදී කටයුතු කළා.

එම වසරේදීම (2011) සංක්‍රමණික සතුන් පිළිබඳ අන්තර්ජාතික ප්‍රඥප්තිය(Convention on Migratory Species)(CMS) හෙවත් බොන් ප්‍රඥප්තිය (Bonn Convention) මගින් මේ සත්වයා ආරක්ෂාව ලැබිය යුතු සතෙකු ලෙස නම් කළා.

මීට අමතරව වඳවීයාමේ තර්ජනයට ලක්වූ ජීවීන්ගේ අන්තර්ජාතික වෙලඳාම පිළිබඳ සම්මුතිය(Convention on the International Trade in Endangered Species)(CITES) හෙවත් CITES-සම්මුතිය මගින් 2013 වසරේදී අලි මඩුවා එහි දෙවන උප ලේඛනයට (Appendix-ii) ඇතුලත් කළා. ඒ නිසා රටවල් අතර සීමාසහිතව අලි මඩුවාගේ කරමල් පෝරු වෙළඳාම කිරීමට තවමත් ඉඩකඩ හිමිව තිබෙනවා. එය අලි මඩුවන් තව දුරටත් නිකරුනේ සමූලඝාතනයට ඉඩකඩ සැලැස්වීමක්.

මාල දිවයින අලි මඩුවන් ඇල්ලීම තහනම් කලේ 1995 තරම් ඈත කාලයකදී. එනම්, මේ අන්තර්ජාතික තත්ත්වයන්ටත් බොහෝ කාලයකට පෙර. මීට අමතරව මාල දිවයින 2009 දී අලි මඩුවන් ආරක්ෂා කිරීම සඳහා ආරක්ෂිත ප්‍රදේශ දෙකක් පවා ප්‍රකාශයට පත්කර තිබෙන්නේ මේ අලි මඩුවන් සංරක්ෂණ ක්‍රියාවලියේ දී බොහෝ ඉදිරියට යමින්.

ශ්‍රී ලංකාවට අපකීර්තියක්

එසේ වුවත්, ශ්‍රී ලංකාව අලි මඩුවන් ඇතුළු මහ මඩුවන් කරමල් පෝරු වෙළෙඳාම වෙනුවෙන් විශාල ලෙස ඝාතනය කරන රටක් ලෙස අපකීර්තියට පත්ව සිටීම ඉතාමත් අවාසනාවන්ත තත්වයක්.

එමන්ම මෙතෙක් කිසිඳු මහ මඩු විශේෂයක් ශ්‍රී ලංකාවේ ආරක්ශිත විශේෂ බවට ප්‍රකාශ කර නැහැ. නමුත්,මුලු මොබියුලිඩේ කුලයටම ආරක්ෂාව ලබාදිය යුතු බවට පරිසරවේදීන් විසින් ශ්‍රී ලංකාවේ අදාල බලධාරීන් වෙත යෝජනා කරන්නේ මීට දශකයකටත් පෙර සිටයි.

මේ නාස්තිකාර වෙළෙඳාමෙන් මෙම මසුන් විශාල ලෙස මරා දැමීම, ඒ නිසාම අප රටට හිමිව තිබෙන අන්තර්ජාතික අපකීර්තිය, සජීවී අලි මඩුවන් ශ්‍රී ලංකාවට අයත් මුහුදේ සිටීම විශාල සංචාරක ආකර්ශනයක් වීම, 2011 සිට සංක්‍රමණික සතුන් පිලිබඳ අන්තර්ජාතික ප්‍රඥප්තිය හෙවත් බොන් ප්‍රඥප්තිය යටතේ මෙම වෙළෙඳාමට සීමා පැනවීම හේතුවෙන් ඔවුන් ආරක්ෂා කිරීම රටක් ලෙස අප විසින් ඉටුකළ යුතු යුතුකමක් හා වගකීමකුත් වශයෙන් සළකා මේ යෝධ මඩුවන් ආරක්ෂා කිරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපදාන සකසන ලෙස ඉල්ලීම් කෙරුණා.

නීතියෙන් ආරක්ෂා කළ හැකි ද ?

අලි මඩුවන් ඇතුලු මොබියුලිඩේ කුලයේ සියල්ලන් නීතියෙන් ආරක්ෂාකිරීම සඳහා පනත් දෙකක ප්‍රතිපාදන උපයෝගී කරගත හැකි වනවා. වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ (Fauna and Flora Protection Ordinance) 31(අ) වගන්තිය යටතේ ආරක්ෂාව ලබාදීම මින් එක් ක්‍රමයක්. මේ සඳහා එම පනතේ ආරක්ෂිත මත්ස්‍යයන් අඩංගු වන උප ලේඛනයට මොබුයුලිඩේ කුලය ඇතුලත් කිරීමෙන් මෙය සිදු කල හැකියි. .ඒ සඳහා අවශ්‍ය වන්නේ වන සත්ව හා වෘක්ෂ ලතා ආරක්ෂක ආඥා පනතේ 34 වන වගන්තිය යටතේ විෂය භාර අමාත්‍යවරයා විසින් පනවන නියෝගයක් ගැසට් පත්‍රයේ පළ කිරීම පමණයි.

මෙසේ පනතේ 31(අ) වගන්තිය මගින් රට තුල ආරක්ෂා කළ විට කරමල්පෝරු ඇතුලු කිසිදු කොටසක් මෙරටින් අපනයනය කිරීමත් පනතේ 40 වන වගන්තිය ක්‍රියාත්මක වීම නිසා නිතැතින්ම නතර වනවා.
එමෙන්ම ධීවර හා ජලජ සම්පත් පනතේ (Fisheries and Aquatic Resources Act) 29 වන වගන්තිය යටතේ පනවනු ලබන නියෝගයක් මගින් මොබියුලිඩේ කුලයේ සියලු සාමාජිකයන් ආරක්ෂිත මත්ස්‍යයන් බවට ප්‍රකාශ කල හැකියි. එම පනතේ 30 වන වගන්තිය යටතේ පනවනු ලබන නියෝගයක් මගින් මොබියුලිඩේ කුලයේ කිසිඳු මත්ස්‍යයෙකුගේ කරමල් පෝරු හෝ සෙසු ශරීර කොටස් අපනයනයත් තහනම් කල හැකි වනවා. අවශ්‍යනම් මේ නියෝග දෙකම එක්කර එකම නියෝග මලාවක් ලෙස එකම ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත්කල හැකියි.

නමුත්,අලි මඩුවන් සහ මහ මඩුවන් ශ්‍රී ලංකාව තුල තව දුරටත් අනාරක්ෂිතව සිටීම නිසා සෑම වසරක් පාසාම මෙලෙසින් අවාසනාවන්ත ලෙස විනාශයට ලක්වෙමින් සිටීම ඉතාමත් කණගාටුදායක කරුණක්.

(මිරිස්සේ ඡායාරූපය – තරංග ගුණරත්න)

(පාරිසරික නීතිඥ ආචාර්ය ජගත් ගුණවර්ධන තැබූ සටහනක් ඇසුරෙන් සකස් කරන ලදී)

පාරිසරික නීතිඥ ආචාර්ය ජගත් ගුණවර්ධන

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!