spot_img
spot_imgspot_img

දකුණේ රාජ්‍ය නිලධාරීන් දඩයම් කරන ආණ්ඩුකාරවරයා, මාධ්‍යයට ලිපියක් එවයි

පුවත්

විදෙස්

(සජීව විජේවීර විසිනි)

“රටේ නීතිය නොදත් දකුණේ ආණ්ඩුකාරයා, නිලධාරින් දඩයමේ” යනුවෙන් අප rata.lk  වෙබ් අඩවියේ ඊයේ (27) පළකරන ලද පුවත සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරයා විසින් පැහැදිලි කිරීමක් එවා තිබේ.

එලෙස එවා ඇත්තේ ඔහු විසින් සියලු මාධ්‍ය ආයතන වෙත පිටපත් සහිතව, ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය වෙත යවන ලද පැහැදිළි කිරීමේ ලිපියකි. එම පැහැදිළි කිරීම අප වෙබ් අඩවියේ පළකරන ලෙස මාධ්‍ය අංශයෙන් ඉල්ලීමක් ද කෙරිණි. ඒ අනුව එම සම්පූර්ණ ලිපිය මෙහි පහතින් පළකර ඇත.

ඊයේ අප පළ කරන ලද පුවතින්, අවාධරණය කරන ලද්දේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට බැඳී සිටින ආණ්ඩුකාරවරයා එම ව්‍යවස්ථාවේ සඳහන් මූලික අයිතිවාසිකම් පවා නොතකා ක්‍රියාකරමින් බරපතල වරදක් කරන බවයි. එමෙන්ම රටේ නීතිය නොදැන කටයුතු කිරීමෙන් නීතියෙන් මුක්තියක් හිමිනොවන බව ද අපි පෙන්වා දුන්නෙමු. ශ්‍රේෂ්ඨාධිකරණනය ඇතුළු මෙරට අධිකරණ ගණනාවකින් පුරවැසියන්ගේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස පිළිබඳ තීන්දු ලබා දී තිබෙන බව නොදැන ආණ්ඩුකාරවරයා කටයුතු කිරිමෙන් මෙරට ශ්‍රේෂ්ඨාධිකරණයට ඔහු අපහාස කරන බව ද අපි අපේ පුවතින් සවිස්තාරාත්මක ව පෙන්වා දී ඇත.

එම පුවත මෙතැනින් කියවන්න.

එසේ පැහැදිළි කර තිබිය දී සහ ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය විසින් පෙන්වාදුන් කරුණුවලට පැහැදිලි කිරීම් කරමින් ආණ්ඩුකාරවරයා තමන්ගේ වරද නිවැරදි කිරීමට උත්සාහ ගත්ත ද ඔහු එම වරද නැවත නැවතත් සිදු කරමින් සිටී.

ආණ්ඩුකාරවරයා විසින් එවා ඇති ලිපියේ සඳහන් කරුණු අපි නැවත මෙසේ විවරණය කරන්නෙමු.

එවා ඇති එම ලිපියේ 02 වැනි කරුණෙහි දැක්වෙන්නේ කරුණු පිළිබඳ වරදවා වටහා ගෙන ඇති බැවින් එය ප්‍රථමයෙන් ම දැනුම් දිය යුතු බවයි.

අප මෙහි දි අවධාරණය කර ඇත්තේ පුද්ගලයකුගේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ තීන්දු තීරණ පිළිබඳව විනා වෙනත් කරුණු නොවේ. එම කරුණු අර්ථ විවරණය කිරීමට ආණ්ඩුකාරවරයාට හෝ අපට හැකියාවක් නැත. එය කළ යුතු වන්නේ ඉහළ අධිකරණයකින් පමණි

නමුත් ආණ්ඩුකාරවරයා සිය 03 වැනි කරුණෙන් දක්වන්නේ 2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී මැතිවරණ කොමිෂන් සභාවට එරෙහි ප්‍රචාර සිය facebook ගිනුම ඔස්සේ ප්‍රචාරය කරීම හේතුවෙන් මැතිවරණ කොමසාරිස් ජනරාල් විසින් සේනක පල්ලියගුරුගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ ආයතන සංග්‍රහයේ විධිවිධාන උල්ලංඝන කරන ලදැයි දැනුම් දුන් බවයි. එසේ කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් අවවාද කිරීමට තීරණය කර ඒබව ලිපියක් ද යොමුකර තිබූ බව ද ආණ්ඩුකාරවරයා පවසයි.

ආණ්ඩුකාරවරයා සඳහන් කරන කාලය වනවිට අපගේ rata.lk වෙබ් අඩවිය ආරම්භ කර තිබුණේ නැත. එබැවින් එහි ඇති කරුණු පිළිබඳ අප මින් පෙර විමර්ශනය කර නැත. නමුත් ‍රටේ පවතින නීතිය අනුව සහ ජාත්‍යන්තර සම්මුතීන් අනුව මෙරට පුරවැසියකු කවර ආකාරයේ හෝ රැකියාවක් කළ ද ඔහුට හෝ ඇයට මූලික මිනිස් අයිතිවාසිකම් අත්විඳීමට අවස්ථාවක් ලැබේ. එමෙන් ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් එය සීමා සහිත කර ඇති අවස්ථාවන් ද දැක්වේ. මේ පිළිබද ඉදිරියේ දී නිසි පරිදි අධ්‍යයනය කර මැතිවරණ කොමිෂන් සභාව විසින් සේනක පල්ලියගුරුගේ හට අවවාද කිරීමට නිර්දේශ කිරීම කොතරම් සාධාරණ ද නිවැරදි ද නැතිනම් මැතිවරණ කොමිසමත් සිය සීමාවන් ඉක්මවා ගොස් ඇත්ද යන්න පිළිබඳ වාර්තා කිරීමට කටයුතු කරන බව අපි ආණ්ඩුකාරවරයාට සිහිපත් කරන්නෙමු.

ඔහු සිය 04 වැනි කරුණෙන් දැක්වන්නේ. පළාත් සභාවේ ජ්‍යේෂ්ඨ නිලධාරියකු ලෙස පල්ලියගුරුගේ හැසිරීම් නිවැරදි විය යුතු අවස්ථා ගණනාවක් සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරයාත්, ප්‍රධාන ලේකම්වරයා සහ ප්‍රධාන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ද වාචික උපදෙස් ලබා දී ඇති බවයි. වාචික උපදෙස් යනු ලිඛිත ලියවිල්ලක් නොවේ. ඔහු වරදක් කර ඇත්නම් ලිපියකින් දැනුම් දීම රාජ්‍ය සේවයේ ක්‍රමවේදයයි. වාචිකව දෙන උපදෙස් නිල උපදෙස් ලෙස පිළිගත හැකි ද යන්න ගැටලුවකි. වරදක් කර ඇත්නම් ඒ සඳහා විනය ක්‍රියාමාර්ග ගත යුතුය. එසේ නොකෙට පසුව “අනේ අපි එයාට කටින් කිව්වා. ඇහුවේ නෑ. ඒ නිසා මෙහෙම කරා” කියමින් තම අනීතික තීන්දු තීරණ සාධාරණීකරණය කිරීමට ආණ්ඩුකාර ධූරය වැනි වැදගත් ධූරයක් දරන අයකුට හැකියාවක් තිබේ ද යන්න අප ප්‍රශ්න කළ යුතුය.

05 වැනි කරුණ මගින් ආණ්ඩුකාරවරයා තමන් රාජ්‍ය පාලනයේ අසමත් බව ලිඛිතව ම ප්‍රකාශ කර සනාථ කරනු ලබයි. ඔහු පවසන්නේ රාජ්‍ය සේවයේ නිලධාරියකු ලෙස සේනක පල්ලියගුරුගේ වෙත එල්ල වන චෝදනනාවන්ට නිසි පරිදි තමා වෙත පැවරී ඇති අධිකාරී බලය පරිදි විනයානුකූළව කටයුතු නොකර පරිපාලනමය හේතු මත ස්ථාන මාරු කිරීම සිදු කරන ලද්දේ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරියකුට සහනශීලී ව කටයුතු කිරීම යන හේතුවෙන් බවයි. ඔහු එලෙස සඳහන් කරමින් පරිපාලන සේවා නිලධාරී සංගමයට දැනුම් දෙන්නේ. “මට එයාට නැතිවෙන්න දෙන්න තිබුණා. ඒත් උඹලගේ එකෙක් නිසා නිකන් හිටියා” වැනි පාතාල කතාවකි.

මෙය දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ විසින් දිගින් දිගටම දූෂිත සහ අක්‍රමිකතා ඇති නිලධාාරීන් ආරක්ෂා කිරීමටත්, වෛද්‍ය වෘත්තීය සමිතීන්ගේ ඉත්තෙකු වී අනෙක් රාජ්‍ය සේවකයන්ගෙන් පළිගැනීමේ නිල්ලජ්ජිත ක්‍රියාවලිය තමන් විසින්ම ලිඛිතව පිළිගත් අවස්ථාවක් බව rata.lk අපි අවධාරණය කරන්නෙමු. ඒ සඳහා උදාහරණ ඕනෑ තරම් අප සතුව තිබේ.

දකුණු පළාත් සභාවේ තමන්ට හිතවත් සහ අවනත නිලධාරීන්ට කොරතම් දූෂණ චෝදනා එල්ල වුව ද තනතුරු සඳහා සුදුසුකම් නොමැති නිලධාරීන් ඒවායේ තබාගැනීම, නැති තනතුරුවලට නිලධාරීන් පත්කිරීම සම්බන්ධයෙන් සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉල්ලීම් මත අත්තනෝමතික ලෙස රාජ්‍ය නිලධාරීන්ගේ වැඩ තහනම් කිරීම වැනි අනීතික ක්‍රියාවන් රැසකට චෝදනා ලැබ සිටින ආණ්ඩුකාර විලී ගමගේ මෙලෙස කටයුතු කරන බව ලිඛිතවව දන්වා සිටින්නේ රාජ්‍ය පාලනයේ තම අසමත්කම ප්‍රදර්ශනය කරමිනි.

සේනක පල්ලියගුරුගේ වරදක් කර ඇත්නම් “අනේ එයා පරිපාලන සේවා නිලධාරියෙක්” යැයි කියමින් ඔහුට එරෙහිව නිසි විනය ක්‍රියාමාර්ග නොගෙන සිටීම තම නොහැකියාව ප්‍රදර්ශනය කිරීමක් බව ආණ්ඩුකාරවරයාට අපි අවධාරණයෙන් කියා සිටිනෙමු. මේ බව පරිපාලන සේවා නිලධාරීන්ගේ සංගමයට මෙසේ පවසන්නේ ඔවුන්ගේ අනිකුත් සාමාජිකයන් ද වරදක් කළත් තමන් ඔවුන්ව ආරක්ෂා කරන්නට බැඳී සිටින බව අවධාරණය කිරීමට විය යුතුය.

ආණ්ඩුකාරවරයා විසින් යවා ඇති පිළිතුරු ලිපියේ 06 වැනි කරුණෙන් ඔහු තමන්ට පළාත් රාජ්‍ය සේවය තුළ ඕනෑම නිලධාරියකු මාරු කර දැමිය හැකියැයි කියමින් තම අධිකාරී බලය ප්‍රදර්ශනය කරයි. එය මුසාවකි. සත්‍ය විකෘති කර ඉදිරිපත් කිරීමකි.

ආණ්ඩුකාරවරයාට දකුණු පළ‍ාතේ රාජ්‍ය සේවයේ සිටින නිලධාරන් හිතූ හිතූ පරිදි මාරුකර යවන්නට කිසිදු හැකියාව් හෝ අයිතියක් නැත. එය එසේ කරන්නේ නම් දේහපාලනික පත්වීමක් වන ආණ්ඩුකාරවරයා මේ රටේ රාජ්‍ය සේවය විනාශ කරමින් අත්තනෝමතික ලෙස කටයතු කිරීමකි. දැනි සිදුවෙමින් පවතින්නේ එයද යන්න අපට ගැටලුවක් පවතී.

සේනක පල්ලියගුරුගේ යනු දීප ව්‍යාප්ත සේවාන් හි මාණ්ඩලික නිලධාරීවරයෙකි. පහත සඳහන් කර ඇති උපලේඛන IIහි දකුණු පළාත් දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඇතුළුව දීප ව්‍යාප්ත සේවාවන්හි මාණ්ඩලික නිලධාරීන් සම්බන්ධ බලතල පැවරෙන ආකාරය දක්වා තිබේ. මෙය දකුණු පළාත් සභාවෙන් ගන්නා ලද නිල ලේඛනයකි.

එම ලේඛනය අනුව සේනක පල්ලියගුරුගේ අදාල තනතුරට පත්කිරීමේ බලය ඇත්තේ පළාත් ප්‍රධාන ලේකම්ගේ නිර්දේශය අනුව දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවට මිස ආණ්ඩුකාරවරයාට නොවේ. සේනක පල්ලියගුරුගේ යන පළාත් රාජ්‍ය සේවයට අන්තර්ග්‍රහණය කර ඇති දීප ව්‍යාප්ත සේවාවන්හි නිලධාරියකු ස්ථාන මාරු කිරීමේ බලය ඇත්තේ ද දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවට මිස ආණ්ඩුකාර වරයාට නොවේ. නමුත් දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ සහකාර ලේකම්වරයාගේ ස්ථානමාරුවීම් ආණ්ඩුකාරවරයාගේ අනුමැතියට යටත්ව රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් කළ හැකි බවට මෙම ලේඛනයේ තරු ලකුණුක් යොදා විශේෂයෙන් සටහන් කර ඇත. එයින් ගම්‍ය වන්නේ අනෙක් කරුණු සඳහා දකුණු පළාත් ආණ්ඩුකාරවරයාගේ අනුමැතිය හෝ නොසළකන බව යැයි යන්න පැහැදිළි කරුණකි.

එපමණක් නොව සේනක පල්ලියගුරුගේ යම් විනය විරෝධී ක්‍රියාවක් සිදුකර ඇත්නම් ඒ සම්බන්ධ මූලික විමර්ශන කටයුතු කිරීමේ බලය ඇත්තේ දකුණු පළාත් රාජ්‍ය සේවා ක‍ොමිසමට මිස ආණ්ඩුකාරවරයාට නොවේ. නමුත් විනය කටයුත්තක දී තමන්ට යම් අසාධාරණයක් සිදුවූවා යැයි හැ‍‍ඟෙන්නේ නම් ඒ සම්බන්ධයෙන් සේනක පල්ලියගුරුගේ විසින් අභියාචනා කළ යුතු වන්නේ ආණ්ඩුකාරවරයාටය. දැන් සිදුව ඇත්තේ නිසි විනය ක්‍රියාමාර්ගයක් නොගෙන අභියාචනා නිලධාරියා විසින් නිලධාරීන්ට දඬුවම් දීමයි. එවිට ඔහුට අභියාචනා කරන්න තැනක් නැත.

ඒ අනුව ආණ්ඩුකාරවයා පවසන කරුණු අසත්‍ය වන අතරම “දකුණේ ඕනෑම නිලධාරියකු මට ඕනෑ විදියට මාරු කරන්න පුළුවන් යැයි” යැයි කරන ප්‍රකාශයෙන් ම ඔහු තමන්ට නැති අධිකාරී බලයක් පෙන්වීමට උත්සාහ ගනිමින් නීති විරෝධීව කටයුතු කරයි. එය අත්තනෝමතික ක්‍රියාවකි.

සේනක පල්ලියගුරුගේ මේ ආකාරයෙන් නීති විරෝධී ලෙස මාරුකිරීමට ප්‍රස්තුත වූ කාරණාව නීති විරෝධී සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ද උල්ලංඝනය කරන කරුණක් බව ආණ්ඩුකාරවරයාට තවමත් නොතේරීම ගැටලුවකි.

ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් පවසන්නේ සේනක පල්ලියගුරුගේ විසින් ආයතන ප්‍රධානියකු ලෙස සිදුකරන ලද ගැටලු සහගත හැසීරීම හේතුවෙන් ඔහු නැවත දෙපාර්තමේන්තු ප්‍රධානී තනතුරකට පත්කළ නොහැකි බවයි.

නමුත් සේනක පල්ලියගුරුගේ සිදුකළා යැයි කියන ගැටලු සහගත ක්‍රියාව සමාජ මාධ්‍යයන් හි සිදුකරන ලද පළකිරීමක් බව ආණ්ඩුකාරවරයාගේ දීර්ඝ පැහැදිළි කිරීමේ 07 වැනි කරුණේ දක්වා ඇත.

එහි දක්වා ඇත්තේ මෙම නිලධාරියා සම්බන්ධයෙන් ක්‍රියාකිරීමට පංච පුද්ගල කමිටුවක් පළාත් ප්‍රධාන ලේකම්වරයා විසින් පත්කර ඇති බවයි. එම ස්වාධීන කමිටුව විසින් මේ සම්බන්ධයෙන් අදාළ සියලු තොරතුරු විමසා බලන බව ද ඔහු දන්වා සිටියි.

අප ඉහත දක්වා ඇති උපලේඛනයේ 06 වැනි කරුණ අනුව, සේනක පල්ලියගුරුගේ සඳහා මූලික විනය කටයුතු සිදුකළ යුතු වන්නේ පළාත් රාජ්‍ය සේවා කොමිසම විසින් මිස පළාත් ප්‍රධාන ලේකම්වරයා විසින් නොවේ. ඒ අනුව පළාත් ප්‍රධාන ලේකම්වරයා විසින් පත්කර ඇති පංච පුද්ගල කමිටුව නීති විරෝධී කමිටුවකි.

ආණ්ඩුකාරවරයාගේ ලිපියේ 08 වැනි කරුණෙහි දක්වා ඇත්තේ, සමාජ මාධ්‍ය ජාලා හරහා රජයේ ප්‍රතිපත්ති සහ තීරණ ආයතන සංග්‍රහයට පටහැනිව විවේචනය කිරීම සම්බන්ධව දකුණු පළාත් ප්‍රධාන ලේකම්වරයා විසින් 2021 අගෝස්තු මස 28 වැනි දිනැතිව ලිපියක් නිකුත් කර ඇති බවයි.

එම ලිපිය නීතියට පටහැනිව දකුණු පළාත් රාජ්‍ය සේවයේ නිලධාරීන් පාලනය කිරීමට නීතිය නොදන්නා ප්‍රධාන ලේකම්වරයා විසින් යවන ලද්දක් බවට එවකට අපි සඳහන් කළෙමු.

එදා එම ලිපිය සම්බන්ධයේන අප විසින් කරන ලද නීතිමය විග්‍රහය නැවත මෙතැනින්

ආණ්ඩුකාරවරයාත්, ඔහුගේ උපදෙස් පිරිදි දකුණු පළාත් ප්‍රධාන ලේකම්වරයාත්, රටේ සාමාන්‍ය සිවිල් නීතිය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ නියෝග පවා නොදැන හෝ දැන දැනම නොතකා කරනු ලබන සියලුම අනීතික කාර්යයන් නැවත නැවතත් සාධාරණීකරණය කිරීමට ඔවුන්ම උත්සාහ ගන්නා බව මෙයින් පැහැදිළි වෙයි. ඒ අනුව ඉහත සඳහන් කර ඇති අපි විසින් මින් පෙර පළකරන ලද ලිපිය නැවත කියවා රටේ ඇති නීතිය තේරුම්ගන්නා ලෙස තමන් ආචාර්ය උපාධිධාරියකු යැයි පවසන විලී ගමගේ ආණ්ඩුකාරවරයාටත්, රාජ්‍ය පරිපාලන සේවා විභාග සමත්වූ දකුණු පළාත් ප්‍රධාන ලේකම්වරයාටත් අපි අවධාරණය කරන්නෙමු.

ආණ්ඩුකාරවරයා පවසන්නේ නිලධාරීන් ආචාරධර්ම රැකිය යුතු බවයි. නමුත් ඊට පෙර ආණ්ඩුකාරවරයා මෙරට සියලු පුරවැසියන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් රැකීමටත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමටත්, අධිකරණයට අපහාසවන ආකාරයේ නියෝග ‍පැනවීමෙන් වැළකීමටත් කටයුතු කිරීම අවශ්‍ය වෙයි.

ආණ්ඩුකාරවයා සිය ලිපියේ 09 වැනි කරුණෙන් තමන්ට සේනක පල්ලියගුරුගේ සමඟ පුද්ගලික කෝන්තරයක් නැති බව පවසයි. නමුත් ඔහු පවසන්නේ මෙම ලිපියේ සඳහන් නොකළ වෙනත් විනය ගැටලු පිළිබඳ කාරණා ද මේ නිලධාරියා සම්බන්ධයෙන් ඇති බවයි.

ආණ්ඩුකාර විලී ගමගේට අපි අවධාරණයෙන් කිව යුතු කරුණක් තිබේ. නිසි විනය පරීක්ෂණයක් නොකර, නිසි චෝදනා ඉදිරිපත් නොකර “ඔයාට අපි කියපු නැති දේවලුත් තියෙනවා” යනුවෙන් අඟවමින් රාජ්‍ය නිලධාරීන් තමන්ට හිතූ හිතූ ආකාරයට නීති විරෝධී ලෙස මාරුකර යැවීමට ‍දේශපාලන පත්වීමක සිටින ඔබට අයිතියක් හෝ හැකියාවක් නැත.

ආණ්ඩුකාරවරයා සහ දකුණු පළාත් ප්‍රධාන ලේකම්වරයා වෙත,

දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ විසින් ලබාදුන් නීති විරෝධී උපදෙස් අනුව මෙරට සාමාන්‍ය නීතිය හෝ නොදැන ප්‍රධාන ලේකම්වරයා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කරුණු. ජාත්‍යන්තරව පිළිගත් මූලික අයිතිවාසිකම් සහ මෙරට අධිකරණ තීන්දු පවා අභියෝගයට ලක්කරමින් නිකුත් කර ඇති 2021-08-28 දිනැති ලිපිය සම්බන්ධයෙන් 08-29 වැනි දින rata.lk වෙබ් අඩවියේ පළකරන ලද ලිපිය පහතින් උපුටා දක්වා ඇත.

ඔබ දෙදෙනා නීතිය නොදැන සිටීම මිනිසුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් නීති විරෝධී කටයුතුවල යෙදීමට මුක්තිය හිමිවන්නක් නොවේ. එමෙන්ම ආයතන සංග්‍රහය යනු නීතිමය ලියවිල්ලක් නොවන බව ද දේශපාලන පත්වීමක් ලබාගෙන නිලධාරීන් දඩයමේ යෙදෙන ආණ්ඩුකාරයා නොදන්නවා වුව ද රාජ්‍ය පරිපාලන සේවයේ නිලධාරියකු වන ප්‍රධාන ලේකම්වරයා දන්නවා ඇතැයි අපි සිතන්නෙමු.

එම උපුටා දැක්වීම පහතින්

දකුණු පළාත් ප්‍රධාන ලේකම්වරයා 2021-08-28 දිනැති ලිපියෙන් සඳහන් කර ඇත්තේ ජනමාධ්‍ය සහ මහජනතාවට නිල ප්‍රවෘත්ති සැපයීම සහ ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් වන ආයතන සංග්‍රහයේ වගන්ති කෙරෙහි සහ රජ්‍ය පරිපාලන චක්‍රලේඛ 6/2019  කෙරෙහි අවධානය යොමු කළ යුතු බවයි.

එම විධිවිධාන අනුව කටයුතු කිරීම සියලුම නිලධාරීන්ගේ වගකීම හා යුතුකම වන බැවින් එකී විධිවිධාන පිළිපැදීම සම්බන්ධයෙන් සියලු සේවකයන් දැනුම්වත් කරන ලෙසත් එම වගන්ති උල්ලංඝනය කරන අය සම්බන්ධයෙන් සෘජුවම විනයානුකූල ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ප්‍රධාන ලේකම්වරයා උපදෙස් දී ඇත.

ප්‍රධාන ලේකම්වරයා අවම වශයෙන් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෝ සාමාන්‍ය භාවිත නීතිය හෝ නොදැන මෙවැනි උපදෙසක් දීම පුදුම සහගතය.

මෙම ලිපිය නීති විරෝධී වන්නේ ඇයි ?

  1. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මෙරට සියලු පුරවැසියන්ගේ භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස සුරක්ෂිත කර ඇත. මෙම ලිපිය එය උල්ලංඝනය කරයි
  2. එමෙන් ම 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ පනතේ 40 වැනි වගන්තිය අනුව යම් පොදු අධිකාරියක තොරතුරු සඳහා ප්‍රවේශවීමට පුරවැසියන්ට අවස්ථාව ඇති තොරතුරක්, ආයතනයේ ඕනෑම අයකු විසින් ඕනෑම පුරවැසියකුට කවර ආකාරයකින් හෝ ලබා දුන්නේ නම් එලෙස ලබාදුන් තැනැත්තාට හෝ තැනැත්තියට හෝ එරෙහිව කිසිදු ආකාරයක විනයානුකූළ ක්‍රියාමාර්ගයක් ගැනීමට නිතීමය අවසරයක් නැත.

ප්‍රධාන ලේකම්වරයාගේ ලිපිය අධිකරණයට අභියෝගයක් වන්නේ කෙසේද ?

  1.  හිටපු ජනාධිපති සහ වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විපක්ෂයේ මන්ත්‍රීවරයකුව සිටිය දී 1993 වර්ෂයේ රට පුරාම එකම වේලාවක සංවිධානය කර තිබූ “ජනඝෝෂාව” සිදුකරමින් තිබිය දී එය නතර කළ ඉංගිරිය පොලිසියට එරෙහිව නීතිඥයකු වූ මහින්ද රාජපක්ෂ ද පෙනී නඩුවක් සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවෙන් ප්‍රකාශයට පත්කර ඇත්තේ “පුරවැසියන්ට රජය විවේචනය කිරීමේ අයිතිය තිබෙන බවයි”. එම තීන්දුවව ලබාදෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය වැඩි දුරටත් භාෂණය සහ ප්‍රකාශනය සම්බන්ධයෙන් මෙසේ සඳහන් කොට ඇත.

    “The right to support or to criticize the governments and political parties , policies and programmes is fundamental to the democratic way of life, and the freedom of speech and expression is one which cannot be denied without violating those fundamental principles liberty and justice which lie at the base of all political and civil institutions.”
  2. එමෙන් ම, විජේරත්න එදිරිව පෙරේරා (SCFR 379/93,SCM 2.3.94) නඩුවේ තීන්දුව ප්‍රකාශ කරමින් මාර්ක් ප්‍රනාන්දු විනිසුරුවරයා සඳහන් කර ඇත්තේ මෙලෙසිනි. රාජ්‍යයෙහි ක්‍රියාකාරිත්වය විවේචනය කිරීමද භාෂණයේ නිදහස යටතේ පිළිගත හැකි ක්‍රියාවකි.”
  3. එම නඩු දෙකට අමතරව තවත් නඩු රැසක් සම්බන්ධයෙන් විවිධ අධිකරණ මගින් භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස සුරක්ෂිත කර තිබේ.

ආයතන සංග්‍රහයේ නියෝගවලින් හෝ චක්‍රලේඛවලින් රාජ්‍ය නිලධාරීන්ගේ භාෂණය හා ප්‍රකාශනයට සීමා දැමිය හැකි ද ?

  1. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා 15.7 වගන්තිය අනුව පුද්ගලයකුගේ අදහස් ප්‍රකාශ කිරීම, රටේ නිදහස, ජාතික ආරක්ෂාව, ජාතික සමගිය, මහජන සෞඛ්‍යය, නීතියේ පැවැත්ම යන කරුණුවලට අදාලව නීතියෙන් නියම කරන ලද සීමාවන්ට යටත්ව ඕනෑම පුරවැසියකුට හිමිවෙයි.
  2. නීතිය යන්න 270 වගන්තියේ විස්තර කර ඇත. එම වගන්තිය අනුව මෙරට නීතියක් වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කරුණු, පාර්ලිමේන්තුව මගින් සම්මත කරගන්නා ලද පනතක්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතිකිරීමට පෙර වෙනත් ව්‍යවස්ථාදායකයක් විසින් ඇතිකරන ලද නියෝග සහ රාජ සභා ආඥා පනත් පමණි.
  3. 2016 අංක 12 දරණ තොරතුරු පනත පාර්ලිමේන්තුවේ සම්මතවීමෙන් පසු 6/2019 චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් නිකුත්කර ඇතත් එය මෙරට වලංගු නීතියක් නොවේ. චක්‍රලේඛයක් යනු නිලධාරියකු විසින් නිකුත්කරන ලද උපදෙස් මාලාවක් පමණි.
  4. එමෙන්ම ආයතන සංග්‍රහය ද මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව නීතියක් නොවේ. එය අමාත්‍ය මණ්ඩලයේ අනුමත වූ ලේඛනයක් පමණි.

එමෙන් ම ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ස්ථාපිත ව්‍යුහයන් වුව ද මෙරට කිසිදු ප්‍රාදේශීය සභාවකට හෝ පළාත් සභාවකට හෝ නීති සෑදීමේ බලයක් නැත.

එබැවින් දකුණු පළාත් ආණ්ඩුකාරවරයාගේ උපදෙස් මත දකුණු පළාත් ප්‍රධාන ලේකම්වරයා විසින් සිදුකර ඇත්තේ මෙරට පුරවැසියන්ට හිමිව ඇති මූලික අයිතිවාසිකම් අහිමිකිරීමට අනීතිකව කටයුතු කිරීමයි.

විලී ගමගේ දකුණු පළාත් ආණ්ඩුකාරවරයා විසින් ඉදිරිපත් කර ඇති සම්පූර්ණ ලිපිය පහතින්

CamScanner 04-28-2565 11.57
CamScanner 04-28-2565 11.57
CamScanner 04-28-2565 11.57

අපි පිළිතුරු දීමේ අයිතියට ගරු කරන වෙබ් අඩවියකි. එබැවින්, මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයක් අගතියට පත්වන්නේ නම් ඔවුන්ගේ පැහැදිළි කිරීම් පළ කිරීමට අපි කටයුතු කරන්නෙමු.

1 COMMENT

  1. අපි වෙනුවෙන් අපි අරමුදලට මොකද උනේ කියලත් මෙයාගෙන් දැන ගන්න පුළුවන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!