spot_img
spot_imgspot_img

රටේ නීතිය නොදත් දකුණේ ආණ්ඩුකාරයා, නිලධාරීන් දඩයමේ

පුවත්

විදෙස්

දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් සහ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග නොතකා අධිකරණයට අපහාස කරමින් තම දේශපාලන න්‍යායපත්‍රයක් ක්‍රියාත්මක කිරීම ආරම්භ කර තිබේ.

රජයේ දැඩි අධූරදර්ශී ක්‍රියාමාර්ග විවේචනය කරන රාජ්‍ය නිලධාරීන් ඔවුන් දරන තනතුරුවලින් ඉවත්කිරීමට තමන් විලී ගමගේ ආණ්ඩුකාරවරයා කටයුතු කරමින් සිටියි. මෙහි නවතම ගොදුර බවට පත්ව ඇත්තේ දකුණු පළාත් සභාවේ පළාත් පාලන කොමසාරිස් සේනක පල්ලියගුරුගේ ය.

ඔහු විසින් පසුගිය facebook සමාජ මාධ්‍ය ඔස්සේ දක්වන ලද අදහස්වලින් රජය අපහසුතාවට පත්වන බව පවසමින් හදිසියේම ඔහු දැරූ තනතුරින් ඉවත්කර කිසිදු වගකීමක් භාර නොදී දකුණු පළාත් ලේකම් කාර්යාලයට මාරුකර යවා තිබේ.

ආණ්ඩුකාරවරයා යනු රටේ රාජ්‍ය නායකයාගේ පළාත් නියෝජිතයාය. ඔහු එම තනතුරට පත්වන අවස්ථාවේ දී ම ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමේ වගකීමෙන් බැඳී සිටියි.

තමන් ආචාර්ය උපාධිධාරියකු බව පවසාගන්නා දකුණු පළාත් ආණ්ඩුකාර ගමගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට බැඳී සිටිය ද ඔහු එහි සඳහන් මූලික මිනිස් අයිතිවාසකම් හෝ නොදන්නා බව මෙයින් පැහැදිලි වෙයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සෑම ශ්‍රී ලාංකික පුරවැසියකුට ම භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස හිමිවෙයි. ඔහු රජයේ සේවකයකු වුව ද එවැනි නිදහසක් සීමා කිරීමට ආයතනය ප්‍රධානියකුට හෝ පත්වීම් බලධාරියකුට හෝ නොහැකි අතර එවැන්නක් කළ හැක්කේ අධිකරණයක් මගින් පමණි.

හිටපු ජනාධිපති සහ වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විපක්ෂයේ මන්ත්‍රීවරයකු ව සිටිය දී 1993 දී රට පුරාම එකම වේලාවක සංවිධානය කර තිබූ “ජනඝෝෂාව” සිදුකරමින් තිබිය දී එය නතර කළ ඉංගිරිය පොලිසියට එරෙහිව නීතිඥයකු වූ මහින්ද රාජපක්ෂ ද පෙනී සිටි නඩුවක් සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවෙන් ප්‍රකාශයට පත්කර ඇත්තේ “පුරවැසියන්ට රජය විවේචනය කිරීමේ අයිතිය තිබෙන බවයි.” එම තීන්දුව ලබාදෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස පිළිබඳ මෙසේ ද සඳහන් කර තිබේ.

හිටපු ජනාධිපති සහ වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විපක්ෂයේ මන්ත්‍රීවරයකුව සිටිය දී 1993 වර්ෂයේ රට පුරාම එකම වේලාවක සංවිධානය කර තිබූ “ජනඝෝෂාව” සිදුකරමින් තිබිය දී එය නතර කළ ඉංගිරිය පොලිසියට එරෙහිව නීතිඥයකු වූ මහින්ද රාජපක්ෂ ද පෙනී නඩුවක් සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවෙන් ප්‍රකාශයට පත්කර ඇත්තේ “පුරවැසියන්ට රජය විවේචනය කිරීමේ අයිතිය තිබෙන බවයි”. එම තීන්දුවව ලබාදෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය වැඩි දුරටත් භාෂණය සහ ප්‍රකාශනය සම්බන්ධයෙන් මෙසේ සඳහන් කොට ඇත.

“The right to support or to criticize the governments and political parties , policies and programmes is fundamental to the democratic way of life, and the freedom of speech and expression is one which cannot be denied without violating those fundamental principles liberty and justice which lie at the base of all political and civil institutions.”

එමෙන් ම, විජේරත්නට එදිරිව පෙරේරා (SCFR 379/93 SCM 2.3.94) නඩුවේ තින්දුව ප්‍රකාශ කරමින් මාර්ක් ප්‍රනාන්දු විනිසුරුවරයා සඳහන් මෙලෙස සඳහන් කර ඇත. “රාජ්‍යයෙහි ක්‍රියාකාරීත්වය විවේචනය කිරීම ද භාෂණයේ නිදහස යටතේ පිළිගත හැකි ක්‍රියාවකි.”

එමේන ම මනෝහාරී පැලකැටිය එදිරිව ලේකම්, අධ්‍යාපන අමාත්‍යාංශය නඩුවේ දී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තවදුරටත් භාෂණයේ නිදහස අනුව වගකිව යුතු රාජ්‍ය නිලධාරියකුට වුව ද සමාජය දැනුම්වත් කිරීමේ වගකීම ඇති බව තහවුරු කර තිබේ.

එසේ තිබිය දී සේනක පල්ලියගුරුගේ හදිසියේ ම වගකීම්වලින් නිදහස් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය විසින් දකුණු පළාත් ප්‍රධාන ලේකම්වරයාගෙන් කරන ලද විමසීමක දී ඔහු ප්‍රකාශ කර ඇත්තේ පල්ලියගුරුගේ විසින් සමාජ මාධ්‍ය ඔස්සේ දැක්වූ අදහස් හේතුවෙන් මෙවැනි තීරණනයක් ගත් බවයි.

පල්ලියගුරුගේ අප්‍රේල් 12 වැනි දා පළ කරන ලද අදහසේ දැක්වෙන්නේ “සිංගප්පූරුව කුසලතාවය, ප්‍රායෝගිකවාදය, අවංකභාවය තුළින් ගොඩනැගෙද්දී ඥාති සංග්‍රහය, දූෂණය සහ වහල්භාවය නිසා ශ්‍රී ලංකාව ගිලා බැස්ස බවයි”

එමෙන් ම පසුගිය දා ශ්‍රී ලංකා පොලිසිය ජනතාවට මාරාන්තික උගුල් ඇවටීම සම්බන්ධයෙන් ඡායාරූපයක් ද පළ කරමින් ඔහු මෙසේ සටහනක් තබා තිබිණි.

“උතුරෙදි රණවිරුවන්

දකුණෙදි මිනීමරුවන්

කිම ද මේ වෙනස ?

අපට වැදගත්

ජාතිය ද ?

නිදහස ද ?”

දැන් ඔහුගේ නිදහස අහිමිකර තිබේ.

රාජ්‍ය නිලධාරීන් සමාජ මාධ්‍ය ඔස්සේ රජය විවේචනය නොකළ යුතුයැයි ද එසේ කරන්නේ නම් ආයතන සංග්‍රහයට අනුව විනය ක්‍රියාමාර්ග ගන්නා බව ද මීට ඉහත දී දකුණු පළාත් සභාව විසින් සියලු රාජ්‍ය නිලධාරීන්ට දැනුම් දී තිබිණි.

නමුත්,

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා 15.7 වන්තිය අනුව පුද්ගලයකුගේ අදහස් ප්‍රකාශ කිරීම, රටේ නිදහස, ජාතික ආරක්ෂාව, ජාතික සමගිය, මහජන සෞඛ්‍ය, නීතියේ පැවැත්ම යන කරුණුවලට අදාලව නීතියෙන් නියම කරන ලද සීමාවන්ට යටත්ව ඕනෑම පුරවැසියකුට කළ හැකි වෙයි.

නීතිය යන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 270 වන වගන්තියේ විස්තර කර ඇත. ඒ අනුව මෙරට නීතියක් වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කරුණු, පාර්ලිමේන්තුව විසින් සම්මත කරගන්නා ලද පනතක්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතිකිරීමට පෙර වෙනත් ව්‍යවස්ථාදායකයක් විසින් ඇතිකරන ලද නියෝග සහ රාජ සභා ආඥා පනත් පමණි.

2016 අංක 12 දරණ තොරතුරු පනත පාර්ලිමේන්තුවේ සම්මතවීමෙන් පසු 6/2019 චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් නිකුත්කර ඇතත් එය මෙරට වලංගු නීතියක් නොවේ. චක්‍රලේඛයක් යනු නිලධාරියකු විසින් නිකුත් කරන උපදෙස් මාලාවක් පමණි.

එමෙන් ම ආයතන සංග්‍රහය ද මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව නීතියක් නොවේ. එය අමාත්‍ය මණ්ඩලයේ අනුමත වූ ලේඛනයක් පමණි. ඒ බව එහි මුල් පිටුවේ ම දක්වා ඇත.

ඒ අනුව සියලු පුරවැසියන්ට සමානව හිමිවන භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස අනුව සේනක පල්ලියගුරුගේ විසින් තම අදහස් ප්‍රකාශ කිරීම දකුණු පළාත් ආණ්ඩුකාරවරයාට හෝ දකුණු පළාත් ප්‍රධාන ලේකම්වරයාට හෝ සීමා කළ හැකි කාරණයක් නොවේ.

එසේ සීමා කිරිමට ඔවුන් උත්සාහ ගන්නේ නම් එය මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගවලට පටහැනිව ගොස් අධිකරණයට අපහාස කිරීමක් ද වෙයි. අධිකරණ නීති නොදැන සිටීම වරදක් කිරීමට මුක්තියක් නොවන බව නීතියේ පිළිගැනීමයි. ඒ නිසා අප විසින් පෙන්වා දී ඇති මෙම කරුණු හෝ අවබෝධ කරගෙන තමන් අතින් සිදුවූ වරද නිවැරදි කරගැනීමට ආණ්ඩුකාරවරයාටත්, ලේකම්වරයාටත් අවස්ථාව තිබේ.

මේ අතර ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය දකුණු පළාත් ආණ්ඩුකාරවරයාට අද (27) ලිපියක් යවා ඇත. එම ලිපියෙන් දැක්වෙන්නේ සේනක පල්ලියගුරුගේ මෙලෙස වගකීම්වලින් නිදහස් කිරීම නීති විරෝධී සහ සදාචාර විරෝධී කාර්යයක් බවයි.

ඔහු යම් විනය විරෝධී කාර්යයක් කර ඇත්නම් ඔහු සම්බන්ධයෙන් විධිමත් මූලික පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා සිටින බවත්, එතෙක් වහාම ක්‍රියාත්මක වනපරිදි ඔහු දකුණු පළාත් සභාවේ පළාත් පාලන කොමසාරිස් තනතුරට නැවත පත්කරන ලෙසත් එම ලිපිය මගින් ඉල්ලා ඇත.

ආණ්ඩුකාරවරයා මෙම ඉල්ලීම් නොතකා තවදුරටත් අත්තනෝමතික ලෙස කටයුතු කරන්නේ නම්, සමස්ත රාජ්‍ය සේවය ම එක් කරගනිමින් දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීරණවන බවත් ශ්‍රී ලංකා පරිපාලන‍ෙ ස්වා සංගමයේ විධායක කමිටුවවෙනුනේ පදුල ශ්‍රී රෝහණ ද සිල්වා සභාපතිවරයා ලෙසත් ප්‍රදීප් ලක්ෂාන් ලේකම්වරයා ලෙසත් අත්සන් කරමින් යැවූ ලිපියේ සඳහන් කර ඇත.

(මෙම පුවත සම්බන්ධයෙන් යම් පාර්ශවයක් අගතියට පත්වන්නේ නම් ඔවුන්ට ඇති පිළිතුරු දීමේ අයිතියට ගරු කරමින් එම අදස් ද පළ කිරීමට අප කටයුතු කරනු ලැබේ)

සේනක පල්ලියගුරුගේ විසින් පළකරන ලද අදහස්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!