spot_img
spot_imgspot_img

අගමැති මැදුරෙන්, කන් පැලෙන්න පිරිත් දාලා. රටේ නීති අමු අමුවේ උල්ලංඝනය කරයි

පුවත්

විදෙස්

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය නිල නිවසවන අරලියගහ මන්දිරයේ නීති විරෝධී ආකාරයෙන් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරමින් ඝෝෂාකාරී හඬක් නිකුත් කරන බවත් එය මෙරට ශ්‍රේෂ්ඨාධිකරණයට පවා අපහාසයක් බවත් ශබ්ද දූෂණයට එරෙහි ජාතික එකමුතව පවසයි.

අද (27) උදෑසන සිට අගමැති නිල නිවසින් මහ හඬින් පිරිත් විකාශය කරනු ලබන අතර ඒ සඳහා ශබ්ද විකාශන යන්ත්‍ර සහ ඇම්ප්ලිෆයර් භාවිතා කර ඇත.

අරලියගහ මන්දිරය ඉදිරිපිට මහින්දගෝ ගම නමින් උද්ඝෝෂණ ස්ථානයක් නිර්මාණය කරගෙන විරෝධතාවයේ නිරත පිරිස් පවසන්නේ තමන්ගේ ශබ්දය පරයා නැගෙන ආකාරයෙන් එවැනි පිරිත් දේශනයක් විකාශය කිරීම ආරම්භ කර ඇති බවයි.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2007 නොවැම්බර් 09 වැනි දා මූලික අයිතිවාසිකම් සඩු අංක 38/2005 සඳහා ලබා දී ඇති තීන්දුව අනුව මෙරට ඕනෑම පුද්ගලික හෝ පොදු ස්ථානයක ඇම්ප්ලිෆයර්, බෆල් සහ ලවුඩ්ස්පීකර් යොදා ශබ්දය විකාශය කරනු ලබන්නේ නම් ඒ සඳහා ළඟම ඇති පොලිස් ස්ථානයෙන් වලංගු බලපත්‍රයක් ලබාගත යුතුය.

එලෙස වලංගු බලපත්‍රයක් ලබාදී ඒ බව පොලිසිය විසින් අධිකරණයට ද දැනුම් දිය යුතුවේ. එසේ බලපත්‍රයක් ලබාගැනීමට අවසර හිමිවන්නේ ජාතික වැදගත් කමක් ඇති උත්සව අවස්ථාවක දී පමණි. නමුත් මේ දිනවල එවැනි ජාතික වැදගත් කමක් ඇති උත්සයක් අරලියගහ මන්දිරයේ සිදුවන්නේ නැත.  ඉහත සඳහන් කර ඇති ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය අනුව පොලිස්පතිවරයා විසින් 2007 නොවැම්බර් 22 වැනි දින නිකුත් කර ඇති 2031/2007 චක්‍රලේඛය අනුව අරලියගහ මන්දිරය වැනි ස්ථානයකද ශබ්ද විකාශනයක් බලපත්‍රයක් නැතිව සිදුකරන්නේ නම් ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. නීතියේ දැක්වෙන්නේ එම ශබ්ද විකාශනය කරනු ලබන පුද්ගලයන් සහ උපකරණ අත්අඩංගුවට ගෙන දණ්ඩනීති සංග්‍රහයේ 261 වැනි වගන්තිය සහ පොලිස් ආඥා පනතේ 80 (4) වගන්තිය අතර අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවයි.

අරලියගහ මන්දිර පරිශ්‍රය ඇතුළත සහ පිටතත් පොලිස් නිලධාරීන් සිය ගණනක් රැඳී සිටිය ද ඔවුන් මේ නීතිය ක්‍රියාත්මක කරන්නේ නැත. යම් ස්ථානයකට ශබ්ද විකාශන බලපත්‍රයක් ලබා දී තිබුණ ද එම පරිශ්‍රයෙන් පිටතට ශබ්දය විකාශය කිරීමට අවසරයක් නැත. එය බලපත්‍ර ලබාදීමේ මූලික කොන්දේසියකි. නමුත් අරලියගහ මන්දිරයෙන් මේ වනවිට විකාශය කරමින් තිබෙන පිරිත් දේශනය ඒ අවට කාර්යාලවල සාමාන්‍ය කටයුතු කරගෙන යාමටත් පදිංචිකරුවන්ගේ යහ පැවැත්මටත් බාධාවකි. එනම් අරලියගහ මන්දිරය අවට සිටින සියලු දෙනාගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් සිටියි.

ශබ්ද දූෂණයට එරෙහි ජාතික ‍එකමුතුව පවසන්නේ මේ නීති විරෝධී ශබ්ද දූෂණය පිළිබඳ මෙරට සියලු පුරවැසියන් පොලිස් දෙපාර්තමේන්තුවේ හදිසි ඇමතුම් අංකය වූ 119 ට කතා කර පැමිණිලි කළ යුතු බවයි. එමෙන් ම ජාතික පොලිස් කොමිසමේ හදිසි ඇමතුම් අංකය වූ 1960ට ද පැමිණිලි ඉදිරිපත් කළ හැකි බව එම සංවිධානය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!