මේ වනවිට මහජනතාවගේ නියෝජිතයන් නොවන හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ සංසදය විසින් “මා ඉල්ලා අස් නොවිය යුතුයැයි යෝජනා කළ බැවින් ඉල්ලා වෙන්නේ නැහැ” යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද (26) කීවේය.
අගමැතිවරයාට ගෞරවාන්විතව ඉල්ලා අස්වන ලෙසත්, නැතිනම් විපක්ෂය විසින් ඉදිරිපත් කිරීමට සූදානම් කර ඇති විශ්වාසභංග යෝජනාවට තම සහයෝගයත් ලබාදී සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කරන බවත් ආණ්ඩුපක්ෂයෙන් ස්වාධීන වූ මන්ත්‍රීවරු අගමැතිවරයාට ප්‍රසිද්ධියේ දැනුම් දුන්නේය.
ඉන් පසු අගමැතිවරයා ඉල්ලා අස්වීමට සූදානමක් ඇති බවත් රාජපක්ෂ පවුලේ සාකච්ඡාවක් ඊයේ මධ්‍යම රාත්‍රිය ද ඉක්මවා යනතුරු ජනාධිපති නිල නිවසේ දී පැවැති බවත් ප්‍රකාශ විය. එහි දී බැසිල් රාජපක්ෂ යෝජනා කර තිබුණේ පළාත් සභා හා පළාත් පාලන මන්ත්‍රීවරු ගෙන්වා ඒ පිළිබඳ විමසා සුදුසු ක්‍රියාමාර්ග ගත යුතු බවයි.
එම සැළසුමේ පියවරක් ලෙස අද පළාත් සභා මන්ත්‍රී සංසදය රැස්වූ අතර එලෙස රැස්වූයේ දැනට මහජන නියෝජිතයන් ලෙස කටයුතු නොකරන මීට පෙර මහජන නියෝජිතයන් ලෙස කටයුතු කළ ආණ්ඩුවට හිතවත් මන්ත්‍රී කණ්ඩායමකි. පළාත් සභා මැතිවරණ පවත්වා නොමැති බැවින් පළාත් සභා මන්ත්‍රීවරු කිසිවෙකුත් මෙරට නැත.
අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට විසින් මේ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇති අතර එහි දැක්වෙන්නේ පවතින ගැටලු කෙටි කාලයකින් විසඳීමට හැකියාව ඇති බව අගමැතිවරයා විශ්වාස කරන බවයි.
රොහාන් වැලිවිට විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයේ අගමැතිවරයා කළ සම්පූර්ණ කතාව සටහන් කර ඇත. එය පහතින් පළකර තිබේ.


