රට ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටිය දී සෞඛ්‍ය අමාත්‍යාංශය සමාගම් කිහිපයකට අධික මුදල් ගෙවා ඖෂධ මිල දී ගැනීමේ කූඨ ව්‍යාපාරයක නිරතවන්නේ දැයි සැකයක් පවතින බව වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය අවධාරණය කරයි.
මෙය රජයේ ආයතනයක් විසින් ම රජයේ ආයතන සූරාකෑමක් යැයි එම වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව පෙන්වා දෙයි.
රෝහලක යම් ඖෂධ වර්ගයක හිඟයක් පවතින්නේ නම් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය විසින් එම ඖෂධ මිල දී ගෙන රෝහල්වලට ලබාදීම කළ යුතුය.
නමුත් දැන් සෞඛ්‍ය අමාත්‍යාංශය උපදෙස් දී ඇත්තේ රෝහල්වල ඖෂධ හිඟවන විට එම රෝහල් අධ්‍යක්ෂවරු අදාල ඖෂධ සමාගම්වලින් සහ ෆාමසිවලින් හිඟ ඖෂධ මිල දී ගත යුතු බවයි.
රෝහල් අධ්‍යක්ෂවරු පවසන්නේ මේ ඖෂධ වර්ග සමාගම්වලින් මිල දී ගැනීමට නොමැති බවයි. එබැවින් අධික මුදලක් ගෙවා ෆාමසිවලින් මිල දී ගැනීමට සිදුව ඇතැයි අධ්‍යක්ෂවරු නගන චෝදනාවකි.
විශේෂඥ වෛද්‍ය චමල් සංජීව එහි දී සිදුවන අපහසුතා පිළිබඳ මෙසේ කියයි.
“මාලිගාවත්ත වකුගඩු රෝහලේ රෝගීන් සඳහා අවශ්‍ය වන Tacrollimus 1mg ඖෂධය වෛද්‍ය සැපයුම් අංශයට ලැබෙන්නේ රුපියල් 13.56 වැනි මුදලකට. නමුත් එය ෆාමසියකින් මිල දී ගන්නා විට රුපියල් 175.00ක් වෙනවා. එය 1290%ක මිල වැඩිවීමක් මේ විදියට බෙහෙත් පිටත ෆාමසිවලින් මිල දී ගෙන රෝහල් පවත්වාගෙන යන්න බැහැ.”
වෘක්කවේද කාන්දුපෙරීම හා වකුගඩු බද්ධ කිරීමේ ජාතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ චාර්ල්ස් නුගවෙල යවන ලද ලිපියක දක්වා ඇති කරුණු පරීක්ෂා කිරීමේ දී පෙනී යන්නේ මේ වනවිට වකුගඩු රෝගීන් සඳහා අත්‍යාවශ්‍ය ඖෂධ අධික මිලට ගැනීමට සිදුව ඇති බවයි.
සෞඛ්‍ය අමාත්‍යාංශය දිගින් දිගටම පවසන්නේ මෙරට රෝහල් සඳහා ප්‍රමාණවත් තරම් ඖෂධ පවතින බවයි. එසේ කියද්දී ඖෂධ සැපයුම් අංශය අත්‍යාවශ්‍ය ඖෂධ රෝහල්වලට නොදී පිටත ෆාමසිවලින් සහ සමාගම්වලින් අධික මුදලක් ගෙවා ලබාගන්න යැයි උපදෙස් දෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් සමාගම් සමඟ එක්ව සිදුකරන ජාවාරමක් හේතුවෙන් දැයි සැකයක් පවතින බව වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසයි.
