කොළඹ නගරය බංකරයක් බවට පත්කිරීමට අද (24) අළුයම වනවිට පොලිසිය කටයුතු කර තිබේ.
කොළඹ කොටුව සහ පිටකොටුව ප්‍රදේශයේ මාර්ග රැසක ගැල්වනයිස් බට ස්ථිරව සවිකරමින් මාර්ග බාධක යොදා තිබෙනු දක්නට ලැබෙයි. අවට ජනතාව පවසන්නේ ඊයේ රාත්‍රියේ සිට රැය පහන්වන තුරු පොලිසියේ මෙහෙයවීමෙන් මෙය සිදුකළ බවයි.
මේ හේතුවෙන් සාමාන්‍ය ජන ජීවිතයට දැඩි බාධාවක් එල්ල වී ඇති අතර මාර්ගවලට ද හානි සිදුව ඇත.
මෙවැනි ඉදිකිරීමක් සඳහා අවසර ලබාදුන්නේ ද යන්න පිළිබඳ මාර්ග සංවර්ධන අධිකාරියෙන් විමසූ විට එහි උසස් නිලධාරියකු කියා සිටියේ එවැනි අවසරයක් ලබා දී නැති බවයි.
අන්තර් විශ්වවිද්‍යාල බල මණ්ඩලයේ මෙහෙයවීමෙන් අද (24) කොළඹ පැවැත්වෙන උද්ඝෝෂණයක් සාමාන්‍ය ජනජීවිතයට බාධාවක් බව පවසමින් එය නතර කිරීමට නියෝගයක් ඉල්ලා පොලිසිය ඊයේ අධිකරණයට කරුණු වාර්තා කළේය.
එම ඉල්ලීම ප්‍රතික්ෂේප විය. ඉන් පසු පොලිසිය සාමාන්‍ය ජන ජීවිතයට බාධා කරමින් මේ ආකාරයෙන් කටයුතු කර තිබේ.




