ආසාදිතයන් සඳහා PCR සිදුකිරීමත් ගැටලුවක් වන ලකුණු

0
171

කොරෝනා වසංගතය පැතිරෙමින් තිබුණ ද ශ්‍රී ලංකාව තුළ දැනට දිනකට සිදුකිරීමට හැකියාව ඇත්තේ පීසීආර් පරීක්ෂණ 9,000ක් පමණක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (රසායන සේවා) විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයලාල් මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ අද (26) සවස සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී අදහස් දක්වමිනි.

ශ්‍රී ලංකාවේ රජයේ රෝහල් හා රජයට අනුබද්ධ විශ්වවිද්‍යාල ඇතුළු ආයතනවල ඇති පීසීආර් පරීක්ෂණ සිදුකළ හැකි රසායනාගාර සංඛ්‍යාව 22 කි. ඊට අමතරව පෞද්ගලික රෝහල් රසායානගාර කිහිපයක ද පීසීආර පරීක්ෂණ සිදුකරයි. විශේෂඥ වෛද්‍ය ජයලාල් මහතා පවසන්නේ රජයේ රසායනාගාරවල දිනකට පීසීආර් පරීක්ෂණ 6,000ක් සිදුකළ හැකි අතර පුද්ගලික අංශයේ පරීක්ෂණ 3,000ක් කළ හැකි බවයි.

“ මේ වනවිට අපේ රසායනාගාරවල උපරිම ධාරිතාවට පරීක්ෂණ සඳහා ජෛව සාම්පල ලැබෙනවා. අද වසංගත රෝග අංශයෙන් කීවොත් රෝගීන් 300ක් වාර්තා වුණා කියලා. ඔවුන්ගේ ආශ්‍රිතයන් ඉදිරි දිනක 3,000කගේ හෝ ඊට වැඩි ප්‍රමාණයක් පීසීආර් පරීක්ෂණ සඳහා යොමු වෙනවා. නමුත් අපට දිකට පරීක්ෂණ කළ හැකිවන්නේ 9,000ක් පමණයි. සාම්පල් වැඩිපුර එකතුවන විට ප්‍රතිඵල නිකුත් වීමේ ප්‍රමාදයක් එනවා. අපි ඔක්තෝබර් 04 වැනි දා දක්වා දිනකට පීසීආර් පරීක්ෂණ කළේ 2,000ක් වගේ ප්‍රමාණක්. ඒ ශ්‍රී ලංකාවට පැමිණෙන විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ පීසීආර් පරීක්ෂණ. දැන් අපිට විශාල ප්‍රමාණයක් කරන්න වෙලා තියෙන නිසා පරීක්ෂණාගාරවල කළ හැකි පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව වැඩිකරන්න කටයුතු කරනවා. “

“පීසීආර් ධාරිතාව ඉක්මවා යන බවක් පෙනෙන නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය කොරෝනා හඳුනාගැනීම සඳහා නිර්‌දේශ කර ඇති සීඝ්‍ර ප්‍රතිදේහ හඳුනාගැනීමේ පරීක්ෂාව (Rapid Antigen Detection Test) භාවිතා කරන්න බලාපොරොත්තු වෙනවා. එය විශාල යන්ත්‍ර සූත්‍ර නැතිව විනාඩි 15-20 ක් වැනි කාලයක දී ප්‍රතිඵල ලබාගන්න පුළුවන්. එය ශ්‍රී ලංකාවේ හඳුන්වාදෙන්න බලාපොරොත්තු වෙනවා. මෙය භාවිතා කරනවානම් මීට වඩා පුද්ගලයන් ප්‍රමාණයක් කොරෝනා සඳහා පරීක්ෂා කරන්න පුළුවන්. නමුත් ඒ් සඳහා අපිට කාලයක් යනවා. යන්ත්‍ර ගෙන්වන්න අවශ්‍යයි. ඒ් සඳහා කාර්ය මණ්ඩලයක් යෙදවීමට සිදුවෙනවා. එහිදීත් කණ්ඩායමකට පරීක්ෂණය කළ හැකි ප්‍රමාණය තීරණය කරලා අවශ්‍යතාව අනුව යෙදවිය යුතු කණ්ඩායම් සංඛ්‍යාව තීරණය කරන්න අවශ්‍යයි.”

විශේෂඥ වෛද්‍ය ජයලාල් මහතා පවසන්නේ කොරෝනා ආසාදිතයකු දැයි පුද්ගලයකු හඳුනාගැනීමට ඇති පීසීආර් පරීක්ෂණ ශ්‍රී ලංකාවේ දී දිනකට කළ හැකි ධාරිතාව ඉක්මවා පර්යේෂණාගාර වෙත ජෛව සාම්පල ලැබෙමින් තිබෙන බැවින් සංචරණය සීමා කිරීම සියලු දෙනාගේ වගකීමක් බවයි. එසේ නොවුවහොත් මෙරට දී ආසාදිතයන් හඳුනාගැනීමේ බරපතල ගැටලුවක් ඇතිවිය හැකි බව ද හෙතෙම පැවසීය.

දැනට දිනකට සිදුකරන පීසීආර් පරීක්ෂණ ප්‍රමාණය සඳහා අවශ්‍ය තරම් කට්ටල ශ්‍රී ලංකාවේ ඇති බව ද අවශ්‍ය වනවිට ආනයනය කරන බව ද නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here