spot_img
spot_imgspot_img

මොකක්ද මේ අවම බලය ? අරගලයට යනවානම් නොවරදවා ම කියවන්න

පුවත්

විදෙස්

මේ වනවිට රට පුරාම අරගල රැසක් සිදුවෙමින් පවතී. ගාලු මුවදොර පිටි, ගාලු නගරය ඇතළු ස්ථාන කිහිපයක නොනවතින අරගලය GotaGo ගම යනුවෙන් නම් කරන ලද විරෝධතාවක් පැය 24 පුරාම ක්‍රියාත්මක වන අතර ගාලු මුවදොර අරගලයට අදට දින 15කි, ගාල්ලේ ආරම්භ වූ අරගලයට අදට දින 08කි.

මීට අමතරව රට පුරාම තැන තැන විටින් විට විවිධ ආකාරයේ විරෝධතා මතුවන අතර ඒවා එක පුද්ගලයාගේ සිට දහස් ගණනක් ඒකරාශීවන විරෝධතා ව්‍යාපාර බවට පත්ව ඇත.

ඇතැම් විරෝධතා දේශපාලන සහ සිවිල් සංවිධාන නායකත්වයකින් ක්‍රියාත්මක වන බව පෙනෙන්නට නැතත් ඒවා පසුපස දේශපාලන සහ සිවිල් ක්‍රියාධරයන් සිටින බව නොරහසකි. නමුත් රටේ පවතින ආර්ථික සහ දේශපාලනික අර්බුදය හමුවේ කිසිම පුද්ගලයකුගේ පෙළඹවීමක් හෝ මෙහෙයවීමක් හෝ නැතිව ජනතාව විසින් ආරම්භ කරන විරෝධතා ද දිනපතාම දක්නට ලැබෙයි.

මෙවැනි පසුබිමක් තුළ වඩාත් ආන්දෝලනාත්මක සිදුවීමක් වූයේ රඹුක්කන නගරයේ පසුගිය දා සිදුවූ ජනතා උද්ඝෝෂණය සහ පොලිසිය ඊට ප්‍රතිචාර දැක්වූ ආකාරයයි.

දැන් එය ඉතිහාසයට එක්වෙමින් තිබේ. ඒ ගැන බොහෝ වාද විවාද ඇතිවෙමින් තිබේ. නමුත් එහි අවසානයේ දැකිය හැකි කරුණු වන්නේ විරෝධතාවක දී ක්‍රියා කළ යුතු ආකාරය, ක්‍රියා කළ හැකි ආකාරය පමණක් නොව තමන්ගේ සීමා මායිම් පිළිබඳව හෝ රටේ ඇති නීති රෙගුලාසි පිළිබඳ හෝ ශ්‍රී ලාංකික පුරවැසියන් පමණක්‍ නොව මෙරට නීතිය හා සාමය ආරක්ෂා කිරීමට සිටින පොලිිසය පවා නොදන්නා බවයි.

අවම බලය යනු කුමක් ද ?

මේ සම්බන්ධයෙන් නිශ්චිත අර්ථ නිරූපනයක් ශ්‍රී ලංකාවේ කිසිදු ව්‍යවස්ථාපිත නීති ප්‍රතිපාදනයක් තුළ දක්නට නැත. මෙය සැබැවින් ම නිර්වචනය කළ යුත්තේ අවම බලය (Use of Minimum force) ලෙස නොව අවශ්‍ය බලය (Use of Necessary force) යනුවෙන් බව වර්තමානයේ දී අන්තර්ජාතික වශයෙන් පිලිගනු ලබන කරුණකි.

කිසියම් අවස්ථාවක දී කැරළි මර්ධනය සඳහා හෝ සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා හෝ අදාල අරමුණ සාක්ෂාත් කරගැනීමට අවශ්‍යකරනු ලබන බලය භාවිතා කිරීමට සිදුවෙයි.

වන්නකු තිසාහාමි නඩු තීන්දුව

වන්නකු තිසාහාමි නඩු තීන්දුවේ දී අධිකරණය ප්‍රකාශ කරනු ලබන්නේ, සැකකරුවකු පොලිසියට වෙඩි තබා පලා යන අවස්ථාවක දී වුව ද සැකකරු ජීවග්‍රහයෙන් අත්අඩංගුවට ගනු ලැබිය යුතු බවයි. සැකකරුගේ ජීවිතයට හානි කිරීමේ බලයක් පොලිසියට නොමැති බව එම නඩු තීන්දුවේ සඳහන් කර ඇත.

එසේ නම්, කිසියම් අවස්ථාවක ගිනි අවි භාවිතා කළ යුතු ද ? භාවිතා නොකළ යුතු ද යන්න තීරණය කිරීමට සිදුවන්නේ එම අවස්ථාවේ පවතින සිද්ධිමය සාධක අනුවය. කෙසේ වෙතත් යම් තැනැත්තකු අත්අඩංගුවට ගැනීමේ දී එම තැනැත්තා විසින් යොදන ප්‍රතිරෝධයට සමානුපාතික බලයක් යොදා එම තැනැත්තා හෝ තැනැත්තන් මර්ධනය කිරීමේ බලය පොලිසිය සතුව ඇත.

නමුත් එම බලය යෙදීමේ දී අත්අඩංගුවට ගන්නා පුද්ගලයාගේ හෝ පුද්ගලයන්ගේ මූලික අයිතිවාසිකම් භුක්ති විඳීමට ඇති අයිතියේ සීමාවන්ට යටත් විය යුතුය.

ගිනි අවි යනු

1916 අංක 33 දරණ තුවක්කු ආඥා පනතේ ගිනි අවි භාවිතය පිළිබඳ රෙගුලාසි දක්වා ඇත. ඉන් පසු ඒ සඳහා 1995 අංක 18 දරණ සංශෝධනය එක්කර තිබේ. එම පනත අනුව තුවක්කුවක් යනුවෙන් හඳුන්වන්නේ අඟල් 0.043 ක ගණකමකින් යුතු අඟල් එකහමාර බැගින් දරකින් ස්ථාපිත කරන ලද පළමු පුවරුව තුවක්කු කටේ සිට අඩි 50ක දුරකින් වෙඩි තැබීමට රේඛීයව පෙළට පිහිටුවා ඇති පලාල පුවරු අටකට වඩා සිදුරු කිරීමට සමත් බලයක් සහිතව මූනිස්සමක් හෝ උණ්ඩයක් හෝ පිට කළ හැකි බැරල් අවියකි. එසේ කළ නොහැකි කිසිවක් ගිනි අවියක් ලෙස නොසැළකේ.

එ‍මෙන් ම ස්වයංක්‍රීය ගිනි අවියක් යනුවෙන් හැඳින්වෙන්නේ 1996 අංක 22 දරණ සංශෝධන පනතට අනුව වෙඩි තබන අවස්ථාවේ දී උණ්ඩ කොපුව ඉවත්කර නැවත නව උණ්ඩයක් ස්වයංක්‍රීයව පිරවෙන ආකාරයේ ගිනි අවියකි.

ශ්‍රී ලංකාවේ සියලුම ආරක්ෂක අංශ සතුව මේ ආකාරවල ගිනි අවි පවතී.  

පොලිසියට, ගිනි අවි භාවිතා කළ හැකි අයුරු

පොලිසිය ස්ථාපිත කර ඇත්තේ 1865 අංක 16 දරණ පොලිස් ආඥා පනත යටතේය. සිවිල් සමාජය තුළ නීතිය හා සාමය ආරක්ෂා කිරීම සඳහා මේ ආයතන ව්‍යුහය සකස් කර ඇත.

සිවිල් සමාජයේ නීතිය හා සාමය ආරක්ෂා කිරීම සඳහා තමාගේ හෝ අන් අයගෝ හෝ ආත්මාරක්ෂාව පතා හෝ කැරළි මර්ධනයට හෝ ගිනි අවිය භාවිතා කරන්නේ නම් ඒ සඳහා පොලිස් ආඥා පනතේ 55 වැනි වගන්තියේ ප්‍රතිපාදන දක්වා ඇත. එම ප්‍රතිපාදන යටතේ පොලිස්පතිවරයා වෙත හිමි වී ඇති බලතල අනුව 1986 දී නිකුත් කර ඇති පොලිස් අත්පොතෙහි ගිනි අවි භාවිතා කළ හැකි ආකාරය සම්බන්ධයෙන් තොරතුරු දැක්වෙයි.

ඒ අනුව අවම බලය පාවිච්චි කිරිමේ දී අනුගමනය කළ යුතු වන සමානුපාතිකත්වයේ මූලධර්මය ගිනි අවියක් භාවිතා කරන අවස්ථාවක දී සියලුම පොලිස් නිලධාරීන් විසින් මතක තබාගත යුතු කරුණක.

පොලිස් අත්පොතෙහිි 4(10) වගන්තිය අනුව ගිනි අවියක් භාවිතා කළ හැකි වන්නේ විශේෂ අවස්ථාවක දී ම පමණි. එමෙන්ම ආත්මාරක්ෂාවට හෝ බරපතල තුවාල හෝ මරණීය තුවාල සිදුවිය හැකි අවස්ථාවක දී හෝ ඊට අත්‍යාසන්න අවස්ථාවක දී පමණක් ගිනි අවියක් භාවිතා කිරීමට පොලිස් නිලධාරියකුට අවස්ථාව හිමිවෙයි.

එම අත්පොතෙහි දැක්වෙන ආකාරයට මිනී මැරීම හෝ බරපතල තුවාල සිදුකිරීම, මංකොල්ලකෑම, දේපල සඳහා අනර්ථය සිදුකිරීම, රාත්‍රී කාාලයේ දේපල කඩා ඇතුළුවීම, පදිංචිකරුවකුට බරපතල තුවාල සිදුකිරීමට හෝ මරණය සිදුවීමට හේතුවන පරිදි දිවා හෝ රාත්‍රී කාලයේ දේපළකට පහරදීම යන අවස්ථාවල දී යම් පුද්ගලයකුට හෝ කැරළිකාර සමූහයකට හෝ එදිරිව ගිනි අවියක් භාවිතා කිරීමට හැකියාව පවතී.

එහෙත් ඒ සඳහා අණක් ලබාදීමට අණදෙන නිලධාරියකු සිටිය යුතුය. එසේ අණදෙන නිලධාරියකු නැතිනම් ආරවුලක් මැඩලීමට වෙනත් ක්‍රමයක් නැතිනම්, අන්තරාවට ලක්වන පුද්ලයන් හා දේපළ ආරක්ෂා කිරීම සඳහා වෙඩි තැබීමට පොලිස් නිලධාරියාට බලය හිමිවෙයි.

වෙඩි තැබීමට පෙර එවැනි වෙඩි තැබීමක් අත්‍යාවශ්‍යම දැයි කල්පනා කළ යුතුය. වෙඩි තැබීමේ සූදානමක් පෙන්වීමෙන් හෝ පමණක් අනර්ථයක් සිදුකරන කණ්ඩායම විසුරුවා හැරීමට හේතුවක් නොවේදැයි ද කල්පනා කර බැලිය යුතුය.

ගිනි අවියක් භාවිතා නොකරම බැරි අවස්ථාවක දී එය භාවිතා කිරීමෙන් පසු  එම ගිනි අවිය භාවිතා කරන ලද වාර ගණන අත් පොතේ, ආරංචිි සටහන් පෙතේ හෝ ජ්‍යෙෂ්ඨ නිලධාරියාගේ වාර්තාවේ හෝ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා විසින් සටන් කළ යුතුය.

කඳුළු ගෑස් භාවිතය සහ කැරලි මර්ධනය

කැරලි මර්ධනය සඳහා ගෝලීය වශයෙන් බහුලව භාවිතා කරන්නේ කඳුළු ගෑස්ය. එය ස්වභාවික වායුවක් නොවන අතර අධික පීඩනයක් යටතේ ගබඩ කර ඇති රසායනික සංඝටක කිහිපයකි. xylyl bromide ඉන් ප්‍රධාන වේ. bromoacetone, සහ ළූණු වල ස්වභාවිකවම අඩංගු වන syn-propanethial-S-oxide නම් රසායනිකයේ සාන්ද්‍ර මාත්‍රාවන් කඳුළුගෑස් උණ්ඩ තුල ගබඩා වී ඇත.

කඳුළුගෑස් උණ්ඩයක්(Tear gas canister) විදිනු ලැබීමෙන් අනතුරුව තප්පර 5ත් 8ත් අතර කාලයකින් උණ්ඩය තුල ගබඩා කර ඇති රසායනික ද්‍රව්‍ය සුදු පැහැති වායුවක් ලෙස පිටතට පැමිණෙයි.

මෙම වායුවේ ඝනත්වය සාමාන්‍ය වායුගෝලයේ ඝනත්වයට වඩා වැඩි අගයක් ගනු ලබන අතර ප්‍රතික්‍රියා සීඝ්‍රතාවය ඉතා ඉහළ අගයක් ගනී. මූලික වශයෙන් ශරීරයේ තෙතමනය රැඳී ඇති ස්ථාන හරහාය ප්‍රතික්‍රියා දක්වයි. මෙම වායුව ආග්‍රහණයෙන් අනතුරුව ස්වසන පද්ධතියේ සෑම ස්ථානයක්ම අධික වේදනාවක් සහිතව දැවීමට ලක්වේ. ඉන් අනතුරුව ආශ්සවාස කිරීම හෝ ප්‍රාශ්වාස කිරීමේ අපහසුතා ඇතිවේ. දෑස් සහ දහඩිය හෝ ජලයෙන් තෙත් වී ඇති සම මෙම වායුව සමඟ ඉක්මනින් ප්‍රතික්‍රියා දක්වයි. එය ආග්‍රහණය කිරීම දීර්ඝකාලීන ස්වසන ආබාධ සඳහා හේතු විය හැකි බව වෛද්‍යවරුන්ගේ මතයයි. ස්වසන පද්ධතියේ සජීවි සෛල වෙත ඉන් වැඩි බලපෑමක් සිදුවේ.

කඳුළු ගෑස් නිරායුධ කැරලිකරුවන් මර්ධනය කිරීම සඳහා භාවිතා කිරීමට නීතියෙන් අවසරය ඇත. කඳුළු ගෑස් සහිත උණ්ඩ එල්ල කළ යුතු වන්නේ අංශක 45ක ආනතියක් සහිතව පිරිසක් සිටින ස්ථානයකට ඉහළින් පතිත වීමට මිස පුද්ගලයන් ඉලක්කගත කරගෙන නොවන බව අන්තර්ජාතික වශයෙන් නියමයක් ද ඇත.

කැරලි මර්ධනයේ දී රසායනික ද්‍රව්‍ය සහ වායූන් භාවිතය පිලිබඳ නිර්මාණය වී ඇති පොදු අන්තර්ජාතික රීතීන් පිළිපැදීමට සෑම රාජ්‍යයක් ම බැඳී සිටියි.

කැරලි මර්ධනයේ සීමා

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 03 වන පරිඡේදයේ 11 වන ව්‍යවස්ථාව අනුව වධ හිංසා හෝ කෘර අමානුෂික සහ අවමන්සහගත සැලකීම් වලින් මිදීමේ අයිතිය ශ්‍රී ලාංකික පුරවැසියන්ට හිමිවෙයි.

එමෙන් ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  13 (1), (2) සහ (4) ව්‍යවස්ථා යටතේ අත්තනෝමතික සිරභාරයට ලක්නොවීමේ අයිතිය සහ නීතියෙන් නියම කරනු ලබන කාර්යපටිපාටියට අනුව මිස මරණීය දණ්ඩනයට යටත් නොකිරීමට සහ බන්ධනාගාරගත නොකිරීමට ඇති අයිතිය ද පුරවැසියාට ලැබෙන මූලික අයිතිවාසිකමකි.

මේ සියලු කරුණුවලට යටත්ව පෙපාලිසිය නීතිය හා සාමය ආරක්ෂා කිරීම කළ යුතුය. නැතිනම් අවම බලය භාවිතා කළ යුතුය.

1994 අංක 22 වධ දීම හා අනෙකුත් කෲර,අමානුෂික හෝ අවමන් සහගත සැලකීම හෝ දඩුවම් වලට එරෙහි වූ සම්මුති පනත අනුව පුද්ගලයකු කෘර, අමානුෂික හෝ අවමන් සහගත සැලකීමකට ලක් කරන විධායක හෝ පරිපාලන නිලධාරියකු පෞද්ගලිකවම අදාල ක්‍රියාවට වගකිව යුතු බව දැක්වෙයි.  

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අනෙක් ව්‍යවස්ථාවන්ට අනුව මෙන්ම,  මානව හිමිකම් සම්මුතීන් සහ බන්ධනාත්මක ප්‍රඥප්තීන් අනුව යම් අයකු අත්අඩංගුවට ගැනීමේ දී සහ කැරළි මර්ධනය කිරීමේ දී කිසිදු ආකාරයකට මානව හිමිකම් උල්ලංඝනය නොවිය යුතුය.  

වගකිව යුත්තේ කවුද ?

මෙම රෙගුලාසි පිළිපැදීමකින් තොරව ඒවා උල්ලංඝනය කරමින් නීති විරෝධී ලෙස ගිනි අවි භාවිතා කිරීම සහ අත්අඩංගුවට ගැනී, පුද්ගල ජීවිත හානි කිරීම සහ තුවාල සිදුකිරීම පිළිබඳ වගකීම පුද්ගලිකව ම එම ක්‍රියාව සිදුකරන ලද හෝ අණ දුන් නිලධාරියා වෙත පැවරේ.

කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ කථිකාචාර්ය කුසල් කාවින්ද අමරසිංහ online educator.blogspot වෙත ලබා දී තිබූ කරුණු අසුරෙන් සකස් කරන ලද ලිපියකි.

මුල් සටහන : http://online-educator.blogspot.com/2018/08/blog-post_23.html?m=1මොනවාද?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!