spot_img
spot_imgspot_img

රඹුක්කන වෙඩි තැබීමට අණදුන් පුද්ගලයා අධිකරණයේ දී අනාවරණය වෙයි

පුවත්

විදෙස්

රඹුක්කන විරෝධතාව විසුරුවාහැරීම සඳහා වෙඩි තැබීමට අණ දුන් පුද්ගලයා කෑගල්ල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කීර්තිරත්න යැයි පොලිසිය අද (22) කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ දී කියා සිටියේය.

මේ බව ප්‍රකාශ කරන ලද්දේ අදාල සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පොලිස්පතිවරයා විසින් පත්කරන ලද කමිටුව විසිනි. ඔවුන් ඒ සම්බන්ධ වාර්තාවක් ඉදිරිපත් කරමින් කියා සිටියේ නොසන්සුන්තාව පාලනය කිරීමට පොලිස් කැරලි මර්ධන කණ්ඩායම්, ටී 56 ගිනි අවි 04ක් සහ උණ්ඩ 35ක් භාවිතා කර ඇති බවයි.

කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න ඉදිරියේ පොලිසිය මේ බව ප්‍රකාශ කරන ලදී.

අදාල සිදුවීමේ දී තුවාල ලැබූ පොලිස් නිලධාරීන්ගෙන් මෙන් ම සිවිල් වැසියන් 51ක පිරිසකගෙන් මේ වනවිට ප්‍රකාශ සටහන් කරගත් බව ද සීතාවකපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වසන්ත කන්දේවත්ත අධිකරණය හමුවේ කියා සිටියේය. ඔහු පොලිස්පතිවරයා විසින් පත්කළ කමිටුවේ ප්‍රධානියාය.

එමෙන් ම ඔහු කියා සිටියේ සිද්ධිය ඇතිවූ ස්ථානයේ පිහිටි සමූපකාර ඉන්ධන පිරවුම්හළේ සීසීටීවී දර්ශන ද අධිකරණයට භාර දී ඇති බවයි.

මෙම නොසන්සුන්තාව පාලනය කිරීම සඳහා කෑගල්ල මූලස්ථාන පොලිසිය විසින් නිකුත් කළ ආයුද පමණක් කැරලි මර්ධන ඒකකය භාවිතා කර ඇතැයි ද වාර්තාවේ සඳහන් වෙයි. එහි දී උණ්ඩ 30 බැගින් වූ ටී 56 අවි 04ක් පිස්තෝල 03ක් කැරලි මර්ධන කණ්ඩායම සතුව තිබී ඇත.

බවුසරයට කිසියම් පුද්ගලයකු ගිනි තැබීමට උත්සාහ කිරීම‍ෙ හේතුවෙන් අහසට වෙඩි තැබූ බවත්, නමුත් විරෝධතා කරුවන් ඉවත් නොවූ බැවින් දණ හිසෙන් පහළට වෙඩි තබා ඇති බවත් එම විමර්ශන කණ්ඩායම අධිකරණයේ දී කීවේය.

ඒ අනුව වෙඩි තැබීමට නියෝග දුන්, කෑගල්ල පොලිස් කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා, වෙඩි තැබීම සිදුකළ නිලධාරීන් ඇතුළු පොලිස් නිලධාරීන් කිහිප දෙනකුගේ නාම ලේඛනයක් ද පොලිස් විමර්ශන කමිටුව විසින් අධිකරණයට ඉදිරිපත් කරන දී.

බවුසරයට ගිනි තැබීමට උත්සාහ කළ පුද්ගලයා අත්අඩංගුවට ගත්තේ ද යන්න පිළිබඳ මහේස්ත්‍රාත්වරිය විමසා සිටි අවස්ථාවේ පොලිස් විමර්ශන කණ්ඩායම කියා සිටියේ එම පුද්ගලයා මෙතෙක් හඳුනාගෙන නැති බවයි. ප්‍රකාශ සටහන් කරගත් තුවාල ලැබූවන් අතර ද එවැනි අයකු නොසිටි බව ද විමර්ශන කිමිටුව කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!