spot_img
spot_imgspot_img

“ආයුධ අරන් හමුදාවේ පිරිසක් අපේ ගෙදරට ආවා” රඹුක්කන සාක්ෂිවලින් වූ අනාවරණයක්

පුවත්

විදෙස්

“මේක හරියන්නේ නෑ. ඕකුන්ට වෙඩි තියලා මරපන්. කියලා උසස් නිලධාරියෙක් කිව්වා. එතකොටම පොලිසියෙන් අපිට වෙඩි තිබ්බා. දුවන මිනිස්සු පස්සේ පන්න පන්නා වෙඩි තිබ්බා” යැයි රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇසින් දුටු සාක්ෂිකරුවෙක් කෑගල්ල මහේස්ත්‍රාත් ඉදිරියේ සාක්ෂිදෙමින් කියා සිටියේය.

කෑගල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් වාසනා නවරත්න ඉදිරියේ සාක්ෂි දුන් ඇසින් දුටු දෙවැනි සාක්ෂිකරු ලෙස ඔහු සැළකෙයි.

දෙවැනි සාක්ෂිකරු වැඩිදුරටත් මෙසේ ද කීවේය.

“මම දවල් දෙකට විතර තෙල් ගහන්න ගියා. ඒ වෙලාවේ තෙල් ඇවිල්ලා තිබුණේ නැහැ. එතැන උද්ඝෝෂණයක් තිබුණා. මමත් ඒකට සහභාගී වූණා. උද්ඝෝෂණ කරපු පිරිස හිටියේ බවුසර් දෙක තිබුණ තැන. පොලීසිය මුලින් හිටියේ කෑගල්ල පාරේ එක පැත්තකට වෙන්න වගේ. ඊට ඉස්සරහින් පොලිස් නිලධාරීන් තුන් දෙනෙක් ත්‍රීවිල් එකකට මුවා වෙලා වගේ හිටියා. මම හිටියේ උද්ඝෝෂණකරුවොයි පොලීසියයි අතර මැද. ත්‍රීවිල් රථයකට මුවා වෙලා හිටි පොලිස් නිලධාරීන් තුන්දෙනෙක් සහ රාජ්‍ය ලාංජනයයි තරු දෙකකුයි කරේ පැළගෙන හිටි ජ්‍යෙෂ්ඨ නිලධාරියකුයි එතන හිටියා. ටික වෙලාවකින් සිවිල් ඇදගත්තු තුන්දෙනෙක් එතැනට ආවා. ඒ අය කවුද කියලා මම දන්නේ නැහැ. ඒ තුන්දෙනා පොලීසිය හිටපු පැත්තට ගල්වලින් ගැහුවා. එතකොටම ජ්‍යෙෂ්ඨ නිලධාරියා කිව්වා ‘කදුළු ගෑස් ගහන්න. ගහන්න” කියලා. ඊට පස්සේ ත්‍රිවිල් එකට මුවා වෙලා වගේ හිටපු පොලිස් නිලධාරීන් තුන් දෙනා කඳුළු ගෑස් ගැහුවා. එතකොටම ජ්‍යෙෂ්ඨ නිලධාරියා කිව්වා ‘මේක හරියන්නේ නැහැ ඕකුන් වෙඩි තියලා මරපන්’ කියලා. එතකොටම පොලීසිය වෙඩි තිබ්බා. මම දිව්වේ මඩවල පාර දිගේ. මා එක්ක තවත් කට්ටිය ගොඩක් දිව්වා. පොලීසිය අපි පිටිපස්සේ පන්න පන්නා වෙඩි තිබ්බා. පොලීසිය වෙඩි තිබ්බේ දුවන අපිට. මම දුවලා පන්සලක් ඇතුළට ගිහින් නතරවුණා.”

පොලිස් වෙඩි පහරින් මියගිය චමින්ද ලක්ෂාන්ගේ බිරිද වන සමන් කුමාරි සාක්ෂි ලබාදෙමින් මෙසේ ප්‍රකාශ කළාය.

“මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. මහත්තයා තෙල් ගහන්න සෙඩ් එකට යනවා කියලා ගියා. ඊට පස්සේ කවුද කෙනෙක් මට කතා කරලා කිව්වා ඔයාගේ මහත්තයාට පොලිසියෙන් වෙඩි තියලා කියල. මම කෑගල්ල රෝහලට ගියා. රෝහලේ ට්‍රොලියක දාලා හිටපු මහත්තයව මම දැක්කා. පස්සේ මම ගෙදර ආවා. ගෙදර ඉදිද්දි අවිගත් හමුදා නිලධාරීන් රැගත් හමුදා ට්‍රක් රථයක් අපේ ගෙදරට ආවා. එතැන 20 දෙනෙක් විතර හිටියා. ඒ අය අතර තරු පැළදගත්ත උසස් නිලධාරීන් දෙදෙනකුත් හිටියා. ඒ දෙන්නා මට කිව්වා “අපි ආවේ ඔයාලට උදව් කරන්න. අපි හැමදේම කරන්නම්” කියලා. ඒ අය ටෙන්ට් එකක් ගෙනත් ගැහැව්වා. අපිට කෑම බීම ගෙනාවා. ටික වෙලාවකින් මම ඒගොල්ලන්ට කිව්වා මගේ මහත්තයා හමුදාවේවත් කිසිම ආරක්ෂක අංශයක හරි වැඩ කරපු කෙනෙක් නෙමෙයි ඒ නිසා ඔයාලගේ උදව් මට එපා කියලා. ඊට පස්සේ ඒ අය ගියා. ඒ කට්ටිය අද උදෙත් අපේ ගෙදරට ආවා. මම ඒ අයට කිව්වා “සර්ලා ඉන්න ඕන නැහැ”. කියලා. ඒ ගහපු ටෙන්ට් එක තාමත් තියෙනවා. මගේ මහත්තයාට වෙඩි තියලා මැරුවා. ඒ නිසා මගේ මහත්තයාට සාධාරණයක් ඉෂ්ඨ කරලා දෙන්න. යුනිෆෝම් ඇදගෙන තරු ගහගෙන හිටියට මේගොල්ලේ මිනීමරුවෝ”

මෙහිදී සාක්ෂි ලබාදුන් පළමු සාක්ෂිකාර ව්‍යාපාරිකයා මෙසේ ප්‍රකාශ කළේය.

“මම උද්ඝෝෂණය පැවැත්වෙන ස්ථානයට එන වෙලාවේ කට්ටිය ගොඩාක් හිටියා. බවුසර් දෙක ළඟ තමයි කට්ටිය පිරිලා හිටියේ. මම එතැන හිටපු තරුණ අයට කිව්වා “මේවා අපි ආරක්ෂා කරන්න ඕන. රැකගන්න ඕන කියලා.” එතැන හිටපු කිසිම කඩාකප්පල්කාරී ක්‍රියා කළේ නෑ. බවුසර් ආරක්ෂා කරගනිමින් තමයි ඔවුන් හිටියේ. මම වතුර බෝතල් ගෙනත් උද්ඝෝෂණය කරමින් සිටි අයටත් ඊට එහායින් හිටිය පොලීස් නිලධාරීන්ටත් දුන්නා. ටික වෙලාවකට පස්සේ පොලිස් නිළධාරියෙක් මා ළඟට ඇවිල්ලා ඉල්ලීමක් කළා ‘මේ තෙල් ටික බාන්න ඉඩ දෙන්න එතකොට ප්‍රශ්නේ ඉවරයිනේ’ කියලා. එතකොට මම කිව්වා ‘සර්ලා හැමදාම අපිට ටොෆි දෙනවා. අපි ඒ ටොෆි කාලා ගෙදර යනවා. අපි ඒකට කැමති නැහැ සර්, මේ ප්‍රශ්නෙට විසදුම ඒක නෙවෙයි’ කියලා. අපි එතැන ඉදලා ඉස්කෝලේ ඇරිලා යන ළමයින්ට ගෙවල්වලට යන්න පාර හදලා දුන්නා. ගිලන්රථවලට හදිසී අවශ්‍යතාවලට යන අයට යන්න ඉඩ සලසලා දුන්නා. ඒ උද්ඝෝෂණය ඉතාමත් සාමකාමීව තමයි සිදුවුනේ. මම දවල් 2.30ට කෑම කන්න ගිහිල්ලා ආපහු ආවා. එතකොට එකපාරටම සද්දයක් ඇහුණා. ‘පොලීසිය වෙඩි තියනවා කියලා මිනිස්සු කෑ ගැහුවා. මම එතන තිබුණ ගේට්ටුවකට මුවා වුණා. එතකොටම කඳුලු ගෑස් ගැහැවුවා. පොලීසිය වෙඩි තියනවා නවත්තන්නේ නැතුව’ මම රඹුක්කන පැත්තට දිව්වා. එතකොට රේල් පාර ළඟ තරුණයකුගේ කකුලට වෙඩි වැදිලා හිටියා. මම කඩයක් ඇතුළට ගියා. මට ගෙදර යන්න බැරිවුණා. මම කඩේ ඇතුලේ හිටියේ ඇදිරිනිතිය දාපු නිසා.”

මෙම සිද්ධිය සම්බන්ධ සාක්ෂි විමසීම ආරම්භ වීමේ දී වීමේදී නිතිපතිවරයා නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ශනිල් කුලරත්නන අධිකරණය හමුවේ පෙනී සිටිම සම්බන්ධයෙන් අගතියට පත් පාර්ශ්වයේ නිතීඥවරු අධිකරණයෙන් කරුණු විමසීමක් සිදුකළහ.

නිතිපතිවරයා නියෝජනය කරන්නේ කවුරුන්දැයි එහි දී මහේස්ත්‍රාත්වරිය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයාගෙන් විමසා සිටි විට, තමන් පොලීසිය වෙනුවෙන් පෙනී සිටින බවට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා දැනුම් දුන්නේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!