ගාල්ල අධිකරණ සංකීර්ණයේ පිහිටි අධිකරණවල අද (26) දින විභාගයට ගැනීමට තිබූ සියලුම නඩු විභාගයට නොගෙන ඉදිරි දිනවලට කල්තැබීමට ගාල්ල නීතිඥ සංගමයේ ඉල්ලීම පරිදි විනිසුරුවරු කටයුතු කළහ.
මෙවැනි තීරණයකට එළැඹ ඇත්තේ පවතින කොරෝනා වසංගත තත්ත්වය සැළකිල්ලට ගනිමිනි. ඒ අනුව ගාල්ල මහාධිකරණය, ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය, ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය හා ගාල්ලේ දිසා අධීකරණ තුනක අද (26) දින කැඳවා තිබූ සියලු නඩු ඉදිරි දින සඳහා කල් තැබිණි.
ගාල්ල නීතිඥ සංගමයේ ලේකම් නීතිඥ සමිත් ගාල්ලගේ මහතා කියා සිටියේ අද (26) සවස 3.00ට මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත රැස්වීමක දී ඉදිරි දිනවල ගාල්ල උසාවි සංකීර්ණයේ කටයුතු සිදුකරන ආකාරය පිළිබඳ තීරණයක් ගැනීමට නියමිත බවයි. ඒ සඳහා ගාල්ල නීතිඥ සංගමය ද සහභාගීවන බව ඔහු කියා සිටියේය.