-4.8 C
New York

“ආදරවන්තයන්ගේ සටන” ජය පැරදුමක් නෑ

Published:

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති රිච්මන්ඩ්-මහින්ද “ආදරවන්තයන්ගේ සටන” අද (18) ජය පරාජයෙන් තොරව අවසන්විය.  

අද සවස ක්‍රීඩංගණයට පතිත වූ වර්ෂාවත් සමඟ තරඟය නතරකරන විට ලකුණු 164ක ඉලක්කයක් හඹා යමින් පිටියට පිවිස සිටි මහින්ද කණ්ඩායම සිය දෙවැනි ඉනිම සඳහා කිසිවෙකුත් නොදැවී ලකුණු 12ක් ලබා සිටියේය.

ඊයේ (17) කාසියේ වාසිය දිනූ මහින්ද විද්‍යාලයීය නායකයාගේ ආරාධනයෙන් පිටියට පිවිසි රිච්මන්ඩ් කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා පන්දුවාර 60.4ක දී සියලු දෙනාම දැවී ලකුණු 174ක් ලබාගත්තේය.

එහි දී තරිඳු නිර්මාල් මෙම තරඟයේ වාර්තා වූ එකම අර්ධ ශතකය හිමිකර ගනිමින් ලකුණු 67ක් ලබාගත් අතර භානුක මනෝහර ලකුණු 34ක්, හංසමාන ද සිල්වා 15ක් හා ෂරොන් අභිෂේක් ලකුණු 12ක් ලබා ගත්හ.

‍අනතුරුව පිටියට පිවිසි මහින්ද කණ්ඩායමට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 128ක් පමණි. ඒ සඳහා ඔවුන් පන්දුවාර 51.1ක් වැය කර තිබිණි.

පළමු ඉනිමේ ලකුණු 46ක වාසියක් සමඟ දෙවැනි ඉනිම ආරම්භ කළ රිච්මන්ඩ් කණ්ඩායමේ මහීෂ ද සිල්වා 38 වැනි පන්දුවාරයේ තුන්වැනි පන්දුවේ දී ආබාධයකට ලක්වන විට කඩුළු 07ක් දැවී ලකුණු 117ක් වාර්තා කරගෙන තිබිණි. එම අවස්ථාවේ දී විනිසුරුවරුන් තේ පානය සඳහා තරඟය නතර කිරීමට තීරණය කළ අතර ඉන් පසු රිච්මන්ඩ් කණ්ඩායම ඉනිම අත්හිටුවා ලකුණු 164ක අභියෝගයක් මහින්ද කණ්ඩායමට ලබාදුන්නේය.

මහින්ද කණ්ඩායම ‍සිය දෙවැනි ඉනිම සඳහා පන්දුවාර 10.3 ක දී ලකුණු 12ක් ලබා සිටිය දී ඇද හැළුණු වර්ෂාව හේතුවෙන් තරඟය නතර කෙරිණි. පසුව වර්ෂාව හේතුවෙන් තරඟය අතහැර දැමීමට තීරණය විය.

මේ අනුව 117 වැනි ආදරවන්තයන්ගේ සටන ජය පැරදුමෙන් තොරව නිමාව දුටු තරඟයක් බවට පත්විය.

රිච්මන්ඩ් කණ්ඩායම පළමු ඉනිම 174

තරිඳු නිර්මාල් 67

භානුක මනෝහර 34

හංසමාන ද සිල්වා 15

ෂරොන් අභිෂේක් 12

ෂෙහාන් හසරංග 49/3

ධනුජ ඉඳුවර 23/2

දිනුර කළුපහන 31/2

මහින්ද කණ්ඩායම පළමු ඉනිම 128

හිරුණ ගාල්ලගේ 39

දිනුර කළුපහන 37

ප්‍රමේෂ් මධුභාසන 22

නාලක ජයවර්ධන 20/4

ෂරොන් අභිෂේක් 38/3

රිච්මන්ඩ් දෙවැනි ඉනිම 117/7

මහීෂ ද සිල්වා 30

භානුක මනෝහර 27

තිරින්ද නිර්මාල් 13

හිරුෂ ගාල්ලගේ 21/4

මහින්ද දෙවැනි ඉනිම කිසිවෙකු නොදැවී ලකුණු 12

Related articles

Recent articles

spot_img