විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු අද. සිසුන් 40,500කට සරසවි වරම්

0
173

2019 වර්ෂයේ උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් සඳහා වූ විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු අද (26) නිකුත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව පවසයි.

නව හා පැරණි නිර්දේශය ලෙස විභාගය පැවැත්වූ බැවින් නිර්දේශ දෙක සඳහා වෙන වෙනම කඩඉම් ලකුණු නිකුත් කරන බව ද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.

මහචාර්යවරයා වැඩිදුරටත් කියා සිටියේ පෙර වසරවල දී විශ්වවිද්‍යාල සඳහා ඇතුළත් කර ගත්තේ සිසුන් 30,000ක් පමණ වුව ද මෙවර 10,500කින් එම සංඛ්‍යාව වැඩි කර ඇති බවයි.

මෙවර වෛද්‍ය විද්‍යා පාඨමාලාව සඳහා ඉකුත් වසරට වඩා සිසුන් 270 දෙනෙක් අමතරව ඇතුළත් කරයි. ඒ අනුව සිසුන් 1890ක් සඳහා වෛද්‍ය විද්‍යාව හැදෑරීමට අවස්ථාව හිමිව ඇත. ඉංජිනේරු පාඨමාලා සඳහා අමතර සිසුන් 400ක් ඇතුළත් කරන බැවින් මෙවර ඉංජිනේරු පාඨමාල සඳහා අවස්ථාව හිමිවන සිසුන් සංඛ්‍යාව 2483කි.

විෂය නිර්දේශ දෙකක් යටතේ විභාගය පැවැත්වීම නිසා සිසුන් ඇතුළත් කිරීමේ දී අනුගමනය කරන ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ප්‍රතිපාදන කොමිෂන් සභාව ගැටලුවකට මුහුණ දුන් අතර විෂය නිර්දේශ දෙකේම සිසුන් දෙපිරිසක් අධිකරණය ඉදිරියට ද ගොස් තිබිණි. මෙම තත්ත්වය මත ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉසඩ් ලකුණු නිකුත් කිරීමට තීරණය කළේ මෙම ශිෂ්‍ය දෙපිරිස නියෝජනය කරන නීතිඥවරුන්, දෙමව්පියන් මෙන්ම නීතිපති දෙපාර්තමේන්තුව සමග ද සාකච්ඡා කිරීමෙන් අනතුරුවය.

විශ්වවිද්‍යාල ප්‍රවේශ කඩඉම් ලකුණු www.ugc.ac.lk යන වෙබ් අඩවියෙන් ලබා ගැනීමට හැකියාව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here