Litro සමාගමෙන් ගසා කෑ හැටි කියමින්, සභාපතිවරයා ඉල්ලා අස්වෙයි

0
1378

ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති තේෂාර ජයසිංහ ජනාධිපිත ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමුකරමින් එම තනතුරෙන් ඊයේ (14) සිට ඉල්ලා අස්වී තිබේ.

ඔහු ජනාධිපතිවරයාට යැවූ ලිපිය මගින් එම ආයතනයේ සිදුවූ දූෂණ අක්‍රමිකතා සහ ඇති වූ ගැටලු රැසක් පිළිබඳ අනාවරණය කර ඇත.

2021 ජූලි මස සිට ඔහු මෙම තනතුර භාරගත් බවත් ඔහුට පෙර සිටි පාලන අධිකාරිය විසින් ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම මූල්‍ය විගණනයෙන් ඉවත්කිරීමට විගණකාධිපතිවරයාට එරෙහිව ගොනුකර තිබූ නඩුව පවා ඉවත්කරගත් බව ද ඔහු තම ලිපියේ සදහන් කර ඇත.

එමෙන්ම පාරිභෝගිකයන් වංචනික ලෙස රවටමින් වෙළෙඳ පොළ වෙත ලීටර 18 ගෑස් සිලින්ඩරය නිකුත් කළේ එහි සංයුතිය පවා වෙනස් කරමින් බවත්, එම වංචාව නැවත්වීමට ඔහු ක්‍රියාකළ බව ද එහි දක්වා තිබේ.

එමෙන් ම ඔහු තම ලිපිය මගින් සිහිපත් කර ඇත්තේ ගෑස් ආනයනයේ දී විශාල වශයෙන් දූෂණ වංචා සිදුවීම හේතුවෙන් රටට බිලියන ගණනින් මුදල් අහිමිවන බවයි. මේ පිළිබඳ ජනාධිපතිවරයාට හෙළිකළ පසු තමන්ට බාධා රැසක් එල්ල වූ බවත් එම අර්බුදයන් ආශ්‍රිතව සැකසුණු තිරපිටපතකට අනුව අධ්‍යක්ෂණය වන්නක් බවට තමන් පත්වූ බවත් හෙතෙම සඳහන් කරයි.

එමෙන් ම විෂය භාර අමාත්‍යවරයාගෙන් හෝ රාජ්‍ය නිලධාරීන්ගෙන් මේ සඳහා අවශ්‍ය සහයෝගය පවා නොලැබුණු බව ඔහු අවධාරණය කරයි. ඔහු එම ලිපියේ මෙලෙස ද සඳහන් කර තිබේ.

“බහුතරයක් ආණ්ඩු පාර්ශවය නියෝජනය කරන මැති ඇමැතිවරුන් සිදුකර සිටියේ මෙම අර්බුදය මැඩ පවත්වාගැනීමට සහය ‍ලබාදීම වෙනුවට විවිධ සාවද්‍ය ප්‍රචාරණ සිදුකරමින මෙම අර්බුදය තව තවත් උත්සන්න කිරීමට උත්සාහ කිරීමයි. පටු දේශපාලනික තත්වය ලිට්‍රෝ සමාගමට පමණක් නොව අනෙකුත් රාජ්‍ය ආයතනයන්හි බලපවත්නා බව ද මගේ හැඟීමයි.”

ඔහු වැඩිදුරටත් මෙම ලිපිය මගින් අවධාරණය කරන්නේ ගෑස් සම්බන්ධයෙන් උද්ගත වී ඇති අර්බුදය ආයනික මට්ටමින් පමණක් විසඳාගත නොහැකි බවයි. එ් සඳහා රටේ සමස්ත ආර්ථික ක්‍රියාදාමයේ නියැලී සිටින්නන්ගේ සහයෝගය අවශ්‍ය බව ද සභාපතිවරයා දැනුම් දී ඇත. රුපියල අවප්‍රමාණවීම, ගෑස් ආනයනය කිරීමට අවශ්‍ය විදේශ විනිමය ලබා ගැනීමට ඇති නොහැකියාව, රාජ්‍ය හා පෞද්ගලික බැංකු පද්ධතියේ ඇති අර්බුදකාරී තත්වය සහ විදේශ ආයතනයක් විසින් ශ්‍රී ලංකාවේ ආර්ථික තත්වය පිළිබඳ සිදුකර ඇති පුරෝථනයන් යනාදිය හේතුවෙන් මේ ගැටලුව ආයතනික මට්ටමින් විසඳාගත නොහැකි බව ඔහු පෙන්වා දී තිබේ.

“රටේ මූල්‍ය කළමනාකාරීත්වයට අදාල රාජ්‍ය මුදල් පරිපාලන පිළිබඳ වගකීම සහ නියාමනය බාර ආයතනයන්හි පෙර සිටි බලධාරීන්ගේ නොසැලකිල්ල සහ අපරීක්ෂාකාරී පිළිවෙත් හේතුවෙන් හෝ හිතාමතාම ඉතිහාසය තුළ මෙම අර්බුදය ඉතා පහසුවෙන් විසඳීමට අවශ්‍ය නි‍ර්දේශ ක්‍රියාත්මක නොකිරීම ප්‍රයත්නයක් හෝ නොදැක්වීම හරහා ජනතාව පීඩාවට පත්වීමට ඉඩ හැර අවශ්‍ය පියවර නොගැනීම ජුගුප්සාජනක අත්දැකීමක් විය. “ යනුවෙන් ද තේෂාර ජයසිංහ ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here