spot_img
spot_imgspot_img

අරගල භූමියෙන් විශේෂ ප්‍රකාශයක් “මේ ඉල්ලීම් ඉටු නොකර වෙන කතා එපා”

පුවත්

විදෙස්

අගමැතිවරයා හෝ රජයේ කිසිදු පාර්ශවකරුවෙක් සමඟ තමන්ට කිසිම ආකාරයක සාකච්ඡාවක් අනවශ්‍ය බවත්, දැනටමත් රටේ සියලු ජනතාව හමුවේ ඉදිරිපත්කර ඇති ප්‍රධාන ඉල්ලීම් 05 වහාම ක්‍රියාත්මක කළ යුතු බවත් අඛණ්ඩ අරගලයේ සම්බන්ධීකරණ කමිටු සාමාජිකයෝ කියති.

ගෝඨාගෝගම නමින් නම්කර ඇති ගාලු මුවදොර පිටිය හා ජනාධිපති ලේකම්කාර්යලය අසළ ප්‍රදේශයේ මූලික කරගනිමින් රටපුරා නොනවතින අරගලයක යෙදී සිටින පිරිස අතර සිටින සම්බන්ධීකරණ කමිටුවේ සාමාජික චමීර ජීවන්ත දෙද්දුවගේ පවසන්නේ මහින්ද රාජපක්ෂ සමඟ සාකච්ඡා කිරීමට කිසිම දෙයක් නැති බවයි.

ඔහු මේ බව සඳහන් කරමින් සිය facebook ගිනුමේ සටහනක් ද තබා ඇත.

“ඉල්ලිම් සේරම දැනටමත් මුළු මහත් සමාජයම දන්නවා. අපිට සාකච්ඡා කරන්න කිසිම දෙයක් නෑ. අපි නැවත මේවා රාජපක්ෂවරුන්ට සහ අණ්ඩුවට මතක් කරන්නම්. මේවා ඉටුකිරීමකින් තොරව මේ අරගලය නවත්වන්න හෝ මර්ධනය කරන්න හෝ ඊනියා සාකච්ඡාවලින් අඩපන කරන්න හෝ සූදානම් ‍වෙන්න එපා” යැයි දෙද්දුවගේ පවසයි.

එම ඉල්ලීම් පහත සඳහන් කර ඇත.

  1. දැනට ආණ්ඩුවේ සහ රාජ්‍ය ආයතනවල වැඩි බලයක් පවත්වාගෙන යන ‍ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ ඇතුළු සියලුම රාජපක්ෂවරු තමන් දරන තනතුරුවලින් වහාම ඉල්ලා අස්විය යුතුයි. නාමල් රාජපක්ෂ, බැසිල් රාජපක්, චමල් රාජපක්ෂ, ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු මේ දේශපාලන පවුල දේශපාලනයෙන් ඉවත්විය යුතුය. ඉන් පසු පූර්ණ පාරදෘෂ්‍ය විගණනයක් සිදුකර, යම් වත්කමක් උපයාගත් ආකාරය හෙළිකළ නොහැකිනම් ඒවා සියල්ල රාජසන්තක කළ යුුතුයි.
  2. පාර්ලිමේන්තුවේ බහුතරයකින් නව ජනාධිපතිවරයකු පත්කරගත යුතුයි. භාරකාර රජයක් පත්කළ යුතු අතර ඒ සඳහා මුදල්, සෞඛ්‍ය, අධ්‍යාපන, ආරක්ෂක (නීතිය, සාමය, හමුදා), රාජ්‍ය පරිපාලන, බලශක්ති, කෘෂිකර්ම, ප්‍රවාහන, කර්මාන්ත ආදී ප්‍රධාන විෂය පථයන් 10කට නොවැඩි ගණනක් සඳහා කැබිනට් මණ්ඩලක් පත්කළ යුතුයි. මෙය සර්ව පාක්ෂික කැබිනට් මණ්ඩලයක් විය යුතුයි.
  3. එම කැබිනට් මණ්ඩලය වහාම ක්‍රියාත්මක වන පරිදි ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට යා යුතුයි. ජාත්‍යන්තර සමඟ ගනුදෙනු ආරම්භ කර විශ්වසනීය ලෙස ණය කළමනාකරණය ඇරඹිය යුතුයි.
  4. අවම වශයෙන් අවුරුදු 15ක් සඳහා ‍ොහ් ජාතික ප්‍රතිපත්තියක් සැකසිය යුතු අතර ඒ සඳහා ඒ ඒ විෂයයන් දන්නා ඒවායේ ප්‍රවීණයන්ගේ සහයෝගය ලබාගත යුතුයි. එමෙන් ම භාරකාර රජය එය නිවැරදිව ක්‍රියාත්මක කළ යුතුයි.
  5. ජනාධිපතිවරයාට ඇති අසීමිත බලතල ඉවත් කළ යුතුයි. අවම වශයෙන් ජනාධිපති ධූරය අහෝසිකළ නොහැකිනම් හදිසි අවශ්‍යතාවක් ලෙස සළකා මෙම පාර්ලිමේන්තු සංයුතිය තුළම 20 වැනි සංශෝධනය අහෝසිකර 19 ක්‍රියාත්මක කළ යුතු අතර අපි එකඟ වන්නේ 19ටත් එහා ගිය බලතල කප්පාදුවක් සඳහා බව ද අවධාරණය කරන්නෙමු. නීතිපති‍ දෙපාර්ත‍මේන්තුව, විගණන දෙපාර්තමේන්තුව, මහබැංකුව වැනි ආයතන ආණ්ඩුවේ ඕනෑ එපාකම් අනුව තීරණ නොගන්නා ස්වාධීන ආයතන විය යුතුයි.

චමීර ජීවන්ත දෙද්දුවගේ වැඩිදුරටත් කියා සිටින්නේ මෙම යෝජනා ක්‍රියාත්මක නොකර කිසිදු සාකච්ඡාවකට මෙම අරගලයේ යෙදී සිටින ශ්‍රී ලාංකීය ජනතාව සූදානම් නැති බවයි.

“අපේ අරගලය සඳහා සියලු ජාතීන්, සියලු ආගමිකයන් එක්ව සිටිනවා. මේකට දේශපාලනයක් නෑ. ජනතාව එන්නේ ස්වේච්ඡාවෙන්. රටේ දුක්විදින ජනතාව, පීඩාවට පත්ව සිටින අහිංසක මිනිස්සු ජාති ආගම් කුල බේද නැතිව එනවා. නමුත් ආණ්ඩුව තමන්ගේ හෙන්චයියලා දාලා අපිට ජාතිවාදී, ආගම්වාදී ලේබල් අලවන්න හදනවා. දැන් සාකච්ඡාවකට කතා කරනවා. මෙතන ඉන්නේ මුළු මහත් ශ්‍රී ලාංකීය ජාතිය. කාත් එක්ක ද සාකච්ඡා කරන්නේ. අපි පැහැදිලිවම ඉහත ඉල්ලීම් 05 ඉදිරිපත් කරලා තියෙන්නේ. මේක සමස්ත ජාතියේ ඉල්ලීමක්. රටේ පරමාධිපත්‍යය ජනතාව. දැන් අපි කියන්නේ ඉස්සෙල්ලා මේ ශ්‍රී ලාංකීය ජාතියේ ඉල්ලීම් ඉටුකරන්න. ඊට පස්සේ අපි බලමු ඉදිරියට මොනවා ද කරන්නේ කියලා. මේ ඉල්ලීම්වලට හෝ ඊට එහා ගිය විසඳුමකට හෝ පමණයි අපි එකඟ වෙන්නේ. වෙනත් එකඟතා සාකච්ඡා නෑ.”

චමීර ජීවන්ත දෙද්දුවගේ මේ අවස්ථාවේ නොනවතින අරගලයේ සම්බන්ධීකරණ සාමාජිකයකු ලෙස ඉදිරිපත් වී සිටින්නේ අගමැතිවරයා සමඟ සාකච්ඡාවකට යැයි පවසමින් වෙනත් පිරිසක් ඉදිරිපත් වී සාකච්ඡා පැවැත්වීමට ඉඩ ඇති බැවිනි.

එබැවින් ඔහු අවසාන වශයෙන් මෙසේ ද කීවේය.

“අපි සම්බන්ධීකරණ කණ්ඩායමක් ලෙස මේ අරගලය තුළින්ම එකතු වූ පිරිසක් ඉන්නවා. කිසිම දේශපාලන පක්ෂයක් වෙනත් අරමුණක් අපිට නෑ. මම ඉදිරිපත් වෙන්නේ මේ සමස්ත ශ්‍රී ලාංකීය ජනතාව වෙනුවෙන්. ඒ නිසා මතක තියාගන්න අපේ සම්බන්ධතාවකින් තොරව, රාජපක්ෂලාගේ ම අනුගාමිකයන් ඉස්සරහට දාගෙන ව්‍යාජ සාකච්ඡා පැවැත්වුවාට ඒවා පිළිගන්න එපා. ඒවා ඇස්බැන්දුම් සාකච්ඡා විතරයි. මේ රටේ සියලු මාධ්‍යවේදීන්ගෙන් ද අපි ඉල්ලා සිටිනවා ඉදිරියේ දී ව්‍යාජ සාකච්ඡා පැවැත්වුවොත් ඒ සම්බන්ධයෙන් ඔබත් අවධානයෙන් ඉන්න කියලා.”

ඔහු තවදුරටත් අවධාරණය කරන්නේ සාකච්ඡා කිසිවකට ඔවුන් එකඟ නැති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!