spot_img
spot_imgspot_img

අගමැති මහින්ද ජාතිය අමතා කළ කතාව සම්පූර්ණයෙන් ම

පුවත්

විදෙස්

අගමැති මහින්ද රාජපක්ෂ අද (11) රාත්‍රී 7.30ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකළේය. එම කතාව සම්පූර්ණයෙන් ම පහතින් දැක්වේ.

“මිත්‍රවරුනි,

අපේ රටේ ඉතා ම තීරණාත්මක මොහොතක ඔබ අමතන්නට මට සිදුව තිබෙනවා. මගේ පනස් වසරකට අධික දේශපාලන ජීවිතය තුළ ඉතාම තීරණාත්මක දේශපාලන සන්ධිස්ථාන රාශියක් පසුකර තිබෙන බව මම කියන්න ඕනෑ. මිත්‍රවරුනි,කොරෝනා වසංගතයෙන් පස්සේ අපිට මුහුණ දෙන්න සිදුවුණු ආර්ථික ප්‍රශ්නය අපේ රටේ ජනතාව හොඳින් තේරුම් අරගෙන තිබෙන බව මම විශ්වාස කරනවා.

මේ වසංගතයෙන් ජනතාවගේ ජීවිත බේරා ගන්න අපට පුළුවන් වුණ ත් දැන් අපේ රට විශාල ආගාධයකට ලක්වෙමින් තිබෙන හැටි අපට දැනෙනවා. රට වසා තැබීමත් එක්ක විදේශ විනිමය එන මාර්ග ඇහිරුණ හැටිත්, විදේශ සංචිත සිඳී ගිය හැටිත් මම අමුතුවෙන් කියන්න ඕනෑ නෑ.

තෙල් නැව මුහුදේ පෙනි පෙනී තියෙද්දී ඒක බා ගන්න ඩොලර් නැති නිසා ජනතාවට විවිධ ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා.යුද්ධය ජය අරගෙන 2010 ජනාධිපතිවරණයෙන් ජයගත්ත මොහොතේ ජනතාව අමතලා කළ කතාව මට මේ මොහොතේ සිහිපත් වෙනවා.

“අනාගතයේ විදුලිය කපන්නේ නැති රටක් බිහි කරනවයි කියලා” එදා මම කිව්වා. ඒ සඳහා බලාගාර ඉදිකරගෙන වැඩ කළත් ඒ බලාපොරොත්තු අපට ඉටු කිරීමට නොහැකි වූයේ පසුගිය රජය අපේ වැඩපිළිවෙල ඉදිරියට ගෙන නොගිය නිසයි. ඒක තමයි ඇත්ත.තෙල්, පෝලිම්වල දින ගණන් රස්තියාදු වුණ ජනතාවගේ වෙහෙස අපට තේරෙනවා.

ගෑස් ගන්න පෝලිම්වල රස්තියාදු වුණ කාන්තාවන්ගේ වේදනාව අපට තේරුම් ගන්න පුළුවනි. බඩු මිල අහස උසට නැගලා තියෙන තත්ත්වය හමුවේ ජනතාව විඳින දුක්ගැහැට ගැන අපි කාටත් හොඳ අවබෝධයක් තිබෙනවා.

මිත්‍රවරුනි,

අපි හැම පක්ෂයකට ම ආරාධනා කළා එකතු වෙලා රට ගොඩ ගමු කියලා, ඒත් ආවෙ නෑ. මේ වෙලාවෙ පක්ෂ ගැන හිතනවාට වඩා රටේ ආර්ථිකය ශක්තිමත් කරගැනීමයි අප සියලුදෙනාගේ ම වගකීම වන්නේ.කවුරු වගකීම භාර නොගත්තත් බලයේ ඉන්න පක්ෂය හැටියට අපි ඒ අවසාන වගකීම භාර ගත්තා.

අපි මේ ගැටළුවලට විසදුම් ලබා දෙනවා.30 වසරක ත්‍රස්තවාදී තර්ජනය නිමා කරලා මේ රටේ ජනතාව තුළ තිබුණ මරණ භය තුරන් කළේ මේ වාගේ ඉරණමකට, වේදනාවකට ජනතාව පත් කරන්න නෙවෙයි. අපි අධිවේගී මාර්ග හැදුවේ, නවීන පාරවල් හැදුවේ තමුන්නාන්සේලාව ඒ පාරවල්වල පෝලිමේ තබන්න නෙවෙයි. අපි වරායන් හැදුවේ, සල්ලි ගෙවා ගන්න බැරිව තෙල් නැව් වරායන්වල රස්තියාදු කරවන්න නොවෙයි.

වෙන රටවල කොරෝනා වසංගතය නිසා දහස් ගණන් මැරෙද්දී සියලු පහසුකම් තියෙන කොරෝනා මධ්‍යස්ථාන හදලා, කෑම බීම, බෙහෙත් ටික, කොත්තමල්ලි කෝප්පයක් දීලා රට ම එන්නත් කරවලා ජනතාවගේ ජීවිත රැක ගත්තේ කඳුළු ගෑස්වලට, වෙඩි උණ්ඩවලට බිලි කරන්න නෙවෙයි.

අපේ රටේ සෑම ප්‍රශ්නයකදී ම ජනතාව රැක ගන්න උපරිම කැප කිරීම් කරපු ඉතිහාසයක් තමයි අපට තියෙන්නේ.අපි මේ අර්බුදයෙන් ගොඩ එන්නත් සෑම උත්සාහයක් ම ගන්නවා.

මිත්‍රවරුනි,

මේ ආණ්ඩුව විදේශවලින් ණය ගැනීම සීමා කළේ, ජනතාවත් සමග ධෛර්යයෙන් වැඩ කරලා ලංකාව ණය නැති රටක් කරන්න. ඉතා ම දුෂ්කර තත්ත්වයක් යටතේ වුණත් විදේශවලින් උදව් ගන්නකොට රටේ ස්වාධීනත්වය රැකගෙන උදව් ගන්නයි මේ ආණ්ඩුව නිතර ම උත්සාහ කළේ. ඒ නිසා ම විශාල ආයෝජන ලංකාවට ගෙන්න ගන්න තිබුණ අවස්ථාත් ඇතැම් අවස්ථාවල ජන මතයට ගරු කරලා අපි පස්සට ගත්තා.

මිත්‍රවරුනි,

මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ව්‍යූහය කඩා බිඳ නොදැමෙන විදිහේ තීන්දුවක් ගැනීමයි ජනතා පරමාධිපත්‍ය ලබාගත් අපේ වගකීම වන්නේ. ඒ අරමුණ ඇතිව පමණයි අපි වැඩ කරගෙන යන්නේ. මතක තියාගන්න අහිමි වීම වාගේම අතහැරීමත් දේශපාලනයේදී අපට හොඳට පුරුදුයි.

මිත්‍රවරුනි,

පාර්ලිමේන්තුවේ දෙසීය විසිපහ ම (225) එපා කියන සටන් පාඨය දැන් ඇහෙනවා. එයින් අදහස් කරන්නේ මේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය ප්‍රතික්ෂේප කිරීම නම් එහි භයානකකම ඉතිහාසය දිහා බලලා තේරුම් ගන්න ඕනෑ. පාර්ලිමේන්තුවට බෝම්බ ගහලා මුළු පාර්ලිමේන්තුව ම විනාශ කරන්න හැදීමෙන් වුණ විපත අපි දෑසින් දැක්කා. එදා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතික්ෂේප කරපු නිසා පාරවල් දිගේ තරුණ ලේ ගලා ගියා. ටයර් සෑ මත දහස් ගණන් තරුණයෝ පණ පිටින් පිච්චුනා. 1988/89 අඳුරු යුගයේදී 60 දහසකට අධික තරුණ ජීවිත අපේ රටට අහිමි උනා. අපි එදා තරුණ ජීවිත රැක ගන්න දරපු මහන්සියේ තරම ඔබගේ වැඩිහිටියන්ගේ මතකයේ තියෙන බව අපි දන්නවා.

දකුණට වාගේ ම උතුරේ තරුණයන්ටත් මම ඒ ගැන මතක් කරලා දෙන්න ඕනෑ.

ඒ අතීතය ඔබගේ අම්මා තාත්තාගෙන් වැඩිහිටියන්ගෙන් ඇහුවොත් කියලා දේවි. පාර්ලිමේන්තුව එපා, ඡන්ද එපා කියලා මහජන නියෝජිතයෝ මහමග මරා දාලා තමයි 1970- 80 කාලේ උතුරේ තරුණයෝ පටන් ගත්තේ.ඒ ආරම්භ කළ දේශපාලන ව්‍යාපාර නිසා වසර තිහක් උතුරේ පමණක් නොවෙයි දකුණේ ජනතාවත් දුක් වින්දා.

බිම් බෝම්බවලට, වෙඩි උණ්ඩවලට දස දහස් ගණන් ගොදුරු වුණා. උන්හිටි තැන් අහිමි වුණා. ටිකෙන් ටික පාසල් දරුවනුත් විරෝධතාවලට පාරට ඇදගෙන යන්න පටන් ගත්තා. ඊළඟට කළේ පාසල් දරුවන් බලෙන් යුද්දෙට ඇදගෙන යන එක. එදත් පටන් ගත්තේ පාර්ලිමේන්තුව ම එපා කියලයි. ඒවායේ විපාක දන්න අපි ආදරණීය දූ පුතුන්ගෙන් ඉල්ලා සිටිනවා ඒ අඳුරු අතීතයට ඔබ ඉපදුන, ජීවත්වෙන මේ මව්බිම ආයෙත් සැරයක් ගෙනියන්න එපා කියලා.

මිත්‍රවරුනි,

අද අපි මුහුණ දී තිබෙන අර්බුදය ජය ගන්න අපි දැවැන්ත වැඩපිළිවෙළක යෙදිලා ඉන්නවා. ජනාධිපතිතුමාගේ ත් ආණඩුවේත් හැම තත්පරයක් ම ගෙවෙන්නේ මේ අර්බුදයෙන් අපේ රට ගොඩගන්නයි. ගොවියාට ඉතිහාසයේ වැඩි ම සහන දුන්න අපිට දැන් ගොවියා විරුද්ධයි. මොන තරම් රටට හොඳක් වුණත් කාබනික පොහොර වැඩපිළිවෙළ ගෙනියන්න මේක වෙලාව නොවේ.

ඒ නිසා අපි පොහොර සහනාධාරය යළි ලබා දෙන්න තීන්දු කරලා තිබෙනවා. දරාගන්න බැරි ජීවන වියදම වගේ ම කඩදාසි හිඟ වීම දක්වා මුහුණ දීලා තිබෙන අර්බුදවලින් රට ගොඩ ගන්න ඕනේ. දවස් දෙක තුනකින් බැරිවුනත් හැකි ඉක්මනින් මේ අර්බුදයට යන ගමන නවත්වන්න අපි කටයුතු කරනවා.

මිත්‍රරවරුනි,

ඔබ පාරේ විරෝධතා දක්වන සෑම තත්පරයක ම අපේ රටට ඩොලර් ලැබෙන්න තියෙන අවස්ථා අහිමි වෙනවා. මහා ප්‍රතිසංස්කරණ කරන්න කලින් ජාතියට අත් වී ඇති මේ විනාශයෙන් රට බේරා ගැනීම අප කාගේත් වගකීමයි. ඒ සඳහා ශක්තිය තිබෙන ධෛර්යය තියෙන හැමෝට ම අපි දැනටමත් ආරාධනා කරලා තිබෙනවා.

ඔබ සියලු දෙනාගේ ම ඉවසිලි වන්ත ධෛර්යය මේ මොහොතේ රටට උවමනා බව මතක තියා ගන්න.

ආදරණීය, දුවේ පුතේ, අපි දන්නවා ඔබ කවුරුත් උපන් බිමට අසීමිතව ආදරය කරන බව.එදා තරුණයන් භීෂණයෙන් බේරා ගන්න පාද යාත්‍රාවේ යනකොට පයේ පෑගුණ වැලි කැටවලට වඩා වැඩියි මටත් පවුලේ අයටත් මේ වන විට කියලා තියෙන නින්දා අපහාස. ඒවා අපට දරා ගන්න පුළුවන්.

එහෙත් රට වෙනුවෙන් රාජකාරියේ යෙදෙන ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ සේවයේ යෙදෙන අයට හිරිහැර, අපහාස කරන්න එපා. අද ඔබ නිදහසේ බය නැතිව මහ මග ගමන් කරන්නේ විරෝධතා දක්වන්නේ රණවිරුවන් තම ජීවිත පරිත්‍යාගයෙන් ඔබට රටක් ඉතිරි කර දුන් නිසා බව මතක තබා ගන්න.

ඒ වාගේ ම කොරෝනා වසංගතයෙන් ඔබව බේරාගන්න මහා පරිත්‍යාගයක් කළ විරුවන් බව ඔබ කෙළෙහි ගුණ දත් අය හැටියට මතක තබා ගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා.

දුවේ, පුතේ…විරෝධතාවලදී ඔබගේ අතේ ජාතික කොඩිය ලෙල දෙනවා මම දකිනවා. ජාතික කොඩිය අපි උපන්න මේ බිමේ ඕනෑ ම තැනක ඔසවන්න පුළුවන් රටක් හදා දුන්නේ අපි. එදා ඒ අභියෝග වලට මුහුණ දුන්න ධෛර්ය වගේ ම පන්නරය තවමත් අපට තියෙනවා.

තෙරුවන් සරණයි!”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!