spot_img
spot_imgspot_img

“විරෝධතාවයට බාධා එපා” – විශේෂඥ වෛද්‍යවරු කියති

පුවත්

විදෙස්

රටේ ඇති ආර්ථික අර්බුදයට එරෙහිව දේශපාලන හෝ ජාති ආගම් බේදයකින් තොරව අරගල කරන ජනතාවගේ විරෝධතාව රාජ්‍ය විරෝධී හෝ අන්තගාමී කොටස්වල ක්‍රියාවක් යැයි ආණ්ඩුව විසින් හුවා දැක්වීම දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.

ඔවුන් මේ බව සඳහන් කරමින් නිවේදනයක් නිකුත්කර තිබේ.

දේශපාලනික වශයෙන් පරිනත නොවූ සුළු පිරිසක් විසින් ආණ්ඩුව මෙහෙවන බවත්, මෙවැනි සාමකාමී ජන අරගල බිඳ දැමීමට හදිසි නීතිය පැනවීම වැනි ක්‍රියා තමන් අනුමත නොකරන බවත් මේ විරෝධතා සඳහා ජනතාවට ඉතා සාධාරණ අයිතියක් ඇති බවත් එම නිවේදනයේ දැක්වේ.

එහි වැඩිදුරටත් මෙසේ ද සඳහන් කර ඇත.

“අපි ඉතා දැඩිව රජයෙන් ඉල්ලා සිටින්නේ පාර්ලිමේන්තුවේ සියලු සාමාජිකයන්ගේ උපදෙස් සහ යෝජනා ලබාගැනීමෙන් ඉතා ප්‍රජාතන්ත්‍රවාදී ලෙස මේ අර්බුදය හමුවේ විසඳුම් සෙවීම ඉතාමත් වැදගත් බවයි. දුර්වල දේශපාලන හා බුද්ධිමය පසුබිමක් ඇති පුද්ගලයන් විසින් මේ රජයට දුන් උපදෙස් හරහා මේ අර්බුදය නිර්මාණය වී තිබේ. එබැවින් රටේ ජනතාවට අවශ්‍ය මූලික පහසුකම් පවා සැපයීමට රජයට නොහැකි තත්වයක් උදාවීම අතිශය කණගාටුදායකය.”

විශේෂඥ වෛද්‍යවරු මේ සම්බන්ධයෙන් යෝජනා ද ඉදිරිපත් කර ඇත.

දැනට පවතින්නේ ප්‍රධාන වශයෙන් මූල්‍යමය අර්බුදයක් බැවින් ඒ සඳහා දේශීය සහ විදේශීය වෙළෙඳාම පිළිබඳ විශේෂඥ දැනුම ඇති අවංක, කාර්යක්ෂම කමිටුවක් පත්කිරීම අවශ්‍යයැයි එම සංගමය පෙන්වා දෙයි. අර්බුදය පිළිබඳ කඩිනම් අධ්‍යයනයක් සිදුකර විධිමත් යෝජනා ඉදිරිපත් කර දැනට රටේ සියලු කොටස් මුහුණ දී සිටින මේ අර්බුදයෙන් ගැලවීම අත්‍යාවශ්‍ය බව ද ඒ සඳහා ආණ්ඩුව සද්භාවයෙන් ආරාධනා කරන්නේ නම් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මෙන් ම විවිධ වෘත්තිකයන් ද මේ අවස්ථාවේ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන බව ද විශේෂඥ වෛද්‍යවරු පෙන්වා දෙති.

එමෙන් ම විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසන්නේ මෙම අවදානම් සහගත අවස්ථාවේ දී ජනතාව මුහුණ දෙන සෞඛ්‍යමය ගැටලු විසඳීමට සහාය ලබාදීමට තම සංගමයේ සියලු සාමාජික සාමාජිකාවන් බැඳී සිටින බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!