spot_img
spot_imgspot_img

මහනුවර දිස්ත්‍රික් ලේකම්, නිලධාරීන්ට අවවාද කරන්න ගිහින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත් එරෙහි වෙයි

පුවත්

විදෙස්

(සිරංගිකා ලොකුකරවිට)

මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් විසින්, මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සේවයේ නිරත එම්.ආර්.ජයසිංහ නමැති නිලධාරිනියකගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් ලිපියක් නිකුත් කර තිබේ.

2022-04-09 වැනි දින “අවවාද කිරිම” යන ශීර්ෂය යටතේ නිකුත් කර ඇති මෙම ලිපයේ දැක්වෙන්නේ එම තැනැත්තිය facebook  ගිනුමේ පළකරන ලද ප්‍රකාශක් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්ගේ HAF/INV/ADSE/01/03/11 හා 2021-11-11 දරන ලිපිය අනුව වරදක් කර ඇති බවයි.

ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ලිපිය අනුව රාජ්‍ය නිලධාරීන් විසින් සමාජ මාධ්‍ය ජාලා භාවිතා කරමින් රජය සහ රාජ්‍ය ප්‍රතිපත්ති විවේචනය නොකිරීමට වග බලාගන්නා ලෙස දැනුම්වත් කර ඇති බවත් එබැවින් මින් ඉදිරියට සමාජ ජාලා භාවිතා කරමින් රාජ්‍ය සේවය අපකීර්තියට පත්වන ආකාරයට කටයුත නොකිරීමටත්, රජයයත්, රජයේ ප්‍රතිපත්ති විවේචනය නොකිරීමටත් වගබලා ගන්නා ලෙස ඇයට අවවාද කර ඇත.

මින් ඉදිරියටත් ඇය එසේ කටයුතු කරන්නේ නම්, ආයන සංග්‍රහයේ XLVII පරිච්ඡේදය අනුව කටයුතු කිරීමට සිදුවන බව ද මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා ඇයට ලිඛිතව දැනම් දී තිබේ.

මෙය සැබැවින්ම රටේ පවත්නා නීතිය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෝ මූලික මිනිස් අයිතිවාසිකම් පිළිබඳ කිසිදු අවබෝධයක් නොමැතිව අත්තනෝමතිකව නිකුත් කරන ලද ලිපියකි.

ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ දිස්ත්‍රික් ලේකම්වරයා යන දෙදෙනාම ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට බැඳී සිටින රාජ්‍ය නිලධාරීන් වෙයි. නමුත් ඔවුන් දෙදෙනා විසින් මේ උල්ලංඝනය කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ශ්‍රී ලාංකික පුරවැසියන්ට හිමිව ඇති භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහසයි.

එමෙන් ම චක්‍රලේඛය නිකුත් කළ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා මෙන් ම අවවාද ලිපිය නිකුත් කළ මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා ද අධිකරණ මගින් ලබා දී ඇති තීන්දු පවා අභියෝගයට ලක්කරමින් ශ්‍රී ලංකා අධිකරණ පද්ධතියට ද අපහාසයක් සිදුකර තිබේ.

ඒ අනුව ඔවුන් තම රාජකාරිය අව‍බෝධ නොකරගනිමින් රජයේ නිලධාරීන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම ගැටලුවකි.

එම ලිපිය නීති විරෝධී වන්නේ ඇයි ?

1. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මෙරට සියලු පුරවැසියන්ගේ භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස සුරක්ෂිත කර ඇත. නමුත් මෙම ලිපිය එය උල්ලංඝනය කරයි.

1. හිටපු ජනාධිපති සහ වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විපක්ෂයේ මන්ත්‍රීවරයකුව සිටිය දී 1993 වර්ෂයේ රට පුරාම එකම වේලාවක සංවිධානය කර තිබූ “ජනඝෝෂාව” සිදුකරමින් තිබිය දී එය නතර කළ ඉංගිරිය පොලිසියට එරෙහිව නීතිඥයකු වූ මහින්ද රාජපක්ෂ ද පෙනී නඩුවක් සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවෙන් ප්‍රකාශයට පත්කර ඇත්තේ “පුරවැසියන්ට රජය විවේචනය කිරීමේ අයිතිය තිබෙන බවයි”. එම තීන්දුවව ලබාදෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය වැඩි දුරටත් භාෂණය සහ ප්‍රකාශනය සම්බන්ධයෙන් මෙසේ සඳහන් කොට ඇත.

“The right to support or to criticize the governments and political parties , policies and programmes is fundamental to the democratic way of life, and the freedom of speech and expression is one which cannot be denied without violating those fundamental principles liberty and justice which lie at the base of all political and civil institutions.”

2. එමෙන් ම, විජේරත්න එදිරිව පෙරේරා (SCFR 379/93,SCM 2.3.94) නඩුවේ තීන්දුව ප්‍රකාශ කරමින් මාර්ක් ප්‍රනාන්දු විනිසුරුවරයා සඳහන් කර ඇත්තේ මෙලෙසිනි. “ රාජ්‍යයෙහි ක්‍රියාකාරිත්වය විවේචනය කිරීමද භාෂණයේ නිදහස යටතේ පිළිගත හැකි ක්‍රියාවකි.”

3. එම නඩු දෙකට අමතරව තවත් නඩු රැසක් සම්බන්ධයෙන් විවිධ අධිකරණ මගින් භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස සුරක්ෂිත කර තිබේ.

ආයතන සංග්‍රහයේ නියෝගවලින් හෝ චක්‍රලේඛවලින් රාජ්‍ය නිලධාරීන්ගේ භාෂණය හා ප්‍රකාශනයට සීමා දැමිය හැකි ද ?

1. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා 15.7 වගන්තිය අනුව පුද්ගලයකුගේ අදහස් ප්‍රකාශ කිරීම, රටේ නිදහස, ජාතික ආරක්ෂාව, ජාතික සමගිය, මහජන සෞඛ්‍යය, නීතියේ පැවැත්ම යන කරුණුවලට අදාලව නීතියෙන් නියම කරන ලද සීමාවන්ට යටත්ව ඕනෑම පුරවැසියකුට හිමිවෙයි.

2. නීතිය යන්න 270 වගන්තියේ විස්තර කර ඇත. එම වගන්තිය අනුව මෙරට නීතියක් වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කරුණු, පාර්ලිමේන්තුව මගින් සම්මත කරගන්නා ලද පනතක්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතිකිරීමට පෙර වෙනත් ව්‍යවස්ථාදායකයක් විසින් ඇතිකරන ලද නියෝග සහ රාජ සභා ආඥා පනත් පමණි.

3. 2016 අංක 12 දරණ තොරතුරු පනත පාර්ලිමේන්තුවේ සම්මතවීමෙන් පසු 6/2019 චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් නිකුත්කර ඇතත් එය මෙරට වලංගු නීතියක් නොවේ. චක්‍රලේඛයක් යනු නිලධාරියකු විසින් නිකුත්කරන ලද උපදෙස් මාලාවක් පමණි.

4. එමෙන්ම ආයතන සංග්‍රහය ද මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව නීතියක් නොවේ. එය අමාත්‍ය මණ්ඩලයේ අනුමත වූ ලේඛනයක් පමණි.

එබැවින් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය විසින් සිදුකර ඇත්තේ මෙරට පුරවැසියන්ට හිමිව ඇති මූලික අයිතිවාසිකම් අහිමිකිරීමට අනීතිකව කටයුතු කිරීමයි.

එම අනීතික ලිපියකට අනුව යමින් මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා විසින් තම කාර්යාලයේ සේවයේ නිරත නිලධාරිනියකට අවවාද කිරීම ද නීති විරෝධී කටයුත්තකි.

(මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුවන්නේ යැයි හැඟෙන්නේ නම් ඔවුන්ගේ හෝ එම ආයතනවල ප්‍රකාශයක් ද මේ හා සමාන ඉඩක් සහිතව පළකරන බව දන්වා සිටිනු කැමැත්තෙමි)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!