-5.9 C
New York

“අපි ඔක්කොම එකයි ෂර්. මුන් අපිව බෙදුවා”

Published:

ගාලු මුවදොර පිටියේ දී අද (09) උදෑසන සිට මේ දක්වා ම උද්ඝෝෂණයේ නිරතව සිටින ජනතාව අතර මුස්ලිම් ලබ්ධිකයෝ සවස සිය රාමසාන් උපවාසය අතහරින අවස්ථාව බොහෝ දෙනකුගේ අවධානයට ලක්විය.

අද සවස 6.19ට යෙදුණු ඉෆ්තාර් වේලාවේ දී ඔවුහු සිය රාමසාන් උපවාසය අතහැරිියේ ආගමික වතාවත් ඉටුකරමිනි. උද්ඝෝෂණයක් අතරතුර එලෙස කටයුතු කිරීමෙක් මෙතෙක් ශ්‍රී ලංකාවේ සිදුවන්නට නැත.

එම ස්ථානයේ සිටි මුස්ලිම් ආගමිකයන් නොවන බෞද්ධ, කතෝලික හා හින්දු ලබ්ධිකයෝ ද ඔවුන්ට ඒ සඳහා ස‍හයෝගය දුන්නේ නියම ශ්‍රී ලාංකිකයන් මෙනි.

පාලකයෝ බලයට පත්වීම සඳහා ජාති හා ආගම්වාද ප්‍රවර්ධනය කරමින් ඒ තුළින් සිය බලය තහවුරු කරගනිති. 83 කළු ජූලියත්, 30 අවුරුදු යුද්ධයත්, පසුගිය මැතිවරණ කාලයන්හි වඳ කොත්තු, වඳ පෙති, වඳ බ්‍රා, වඳ සීට්, දොස්තර සාෆි, පාස්කු ප්‍රහාරය වැනි මාතෘකා ඔස්සේ මෙරට ජාතිවාදී සහ ආගම්වාදී අදහස් වඩාත් ව්‍යාප්ත විය.

සියවස් ගණනාවක් එකට එකව සමගියෙන් බැඳී සිටි එකම ශ්‍රී ලාංකීය ජාතිය සිංහල, දෙමළ, මුස්ලිම්, බෞද්ධ, හින්දු, කතෝලික, මුස්ලිම් ආදී වශයෙන් බෙදා වෙන් කෙරිණි.

නමුත් දැන් මේ සියලු ජාතීන්, සියලු ආගමිකයො රට වෙනුවෙන් එක්ව නැගී සිටිති. ඒ කිසිවකුගේ පෙළඹවීමකින් තොරවය. තමන් විසින්ම වරින් වර බලයට පත්කරන ලද පාලකයන්ට එරෙහිව ඔවුන් සැබෑ ශ්‍රී ලාංකිකයන් සේ නැගී සිටින්නේ තම අනාගත දරු පරපුර වෙනුවෙනි.

මේ ජාතික ආගමික සදාකල් පවතීවා යන්න අපේ ප්‍රාර්ථනයයි.

Related articles

Recent articles

spot_img