-4.8 C
New York

ජනතා විරෝධයට බියෙන්, මන්ත්‍රීවරු ගන්නා ක්‍රියාමාර්ග මෙන්න

Published:

ජනතාව වීදි බැස විරෝධය දැක්වීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විශාල පිරිසක් තම වාහනවල ඉදිරිපස සවිකර තිබූ පාර්ලිමේන්තු මන්ත්‍රී ලාංඡන ගලවා ඉවත්කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචිමාර්ග තහවුරු කරයි.

මීට අමතරව ඇමති ආරක්ෂක අංශයෙන්, සියලු මන්ත්‍රීවරුන්ට විශේෂ උපදෙස් ලබා දී ඇත. ඉන්ධන, ගෑස් සහ වෙනත් ආකාරයේ පෝලිම්වල සිටින ජනතා‍වගෙන් ඕනෑම අවස්ථාවක දී තර්ජනයක් ඇතිවිය හැකි බැවින් එවැනි ස්ථාන මඟ හැර යන ලෙස ද උපදෙස් දී ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා මාදිවෙල පිහිටි නිවාස සංකීර්ණයේ ආරක්ෂාව ද වැඩි කර ඇති අතර පොලිසියට අමතරව යුද හමුදාව ද යොදවා ඇත. මීට අමතරව බුද්ධි අංශ කණ්ඩායම් ද එම ප්‍රදේශවලට යොමුකර සිටියි.

පාර්ලිමේන්තුව හෙට (4) සිට ලබන 8 වැනිදා සිකුරාදා දක්වා පැවැත්වෙන අතර  පාර්ලිමේන්තුව රැස්වන එම  කාලසීමාවේදී  විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක  කිරීමටද රජයේ අවධානය යොමුවී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

මීට අමතරව පාර්ලිමේන්තු සේවක සේවිකාවන් ප්‍රවාහනය කරනු ලබන බස් රථවල සවිකර තිබූ පාර්ලිමේන්තුව යනුවෙන් සඳහන් පුවරු ද ඉවත්කර ධාවනය කිරීමට පියවර ගෙන තිබේ.

Related articles

Recent articles

spot_img