spot_img
spot_imgspot_img

ගාල්ලේ අමරසූරිය විදුහලේ ශිෂ්‍ය නායකයන්ට තර්ජන. රුපියල් 1,000ක් එකතුකරන වැඩමුළුවක්

පුවත්

විදෙස්

ගාල්ලේ මීපාවල අමරසූරිය විදුහලේ ශිෂ්‍ය නායක නායිකාවන් නේවාසික වැඩමුළුවකට නොපැමිණියහොත් ඔවුන්ගේ ශිෂ්‍ය නායක ධූරයන් අහිමිකරන බවට විදුහල්පතිවරයා විසින් තර්ජනාත්මක ලිපියක් යවා ඇත.

එමෙන් ම සහභාගීවන සෑම ශිෂ්‍ය නායකයකු නායිකාවක ම එම වැඩමුළුව සඳහා රුපියල් 1,000.00 ක මුදලක් ගෙවීම ද අනිවාර්ය කර තිබේ. තවත් සති කිහිපයකින් පැවැත්වෙන අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසු සිසුවියන් කිහිප දෙනකු ද මෙම පාසලේ ශිෂ්‍යනායකයන් ලෙස කටයුතු කරන අතර ඔවුන්ට ද වැඩමුළුවට සහභාගීවීම අනිවාර්ය කර ඇත.

නොපැමිණෙන අය ශිෂ්‍යනායක ධූරය හැරගියා සේ සළකන බව ද විදුහල්පතිවරයා විසින් නිකුත් කළ ලිපියේ දක්වා ඇත.

වැඩමුළුව අප්‍රේල් මස 01 වැනි දා ප.ව. 12.30ට ආරම්භ වී රාත්‍රී දෙකක් විද්‍යාලයේ ම ගත කර 03 වැනි දා සවස අවසන් වීමට නියමිතය. විදුලි කප්පාදුවක් පවතින මේ දිනවල සිසු සිසුවියන් පාසලේ නේවාසිකව රඳවා ගනිමින් ‍පවත්වන මෙම වැඩමුළුව සඳහා ඉටිපන්දම් රැගෙන එන ලෙස ද දැනුම් දී තිබේ. නමුත් අප දන්නා තරමින් මේ වැඩමුළුව සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය ලබාගෙන නැත.

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මේ ගැන විමසූ විට එහි ප්‍රකාශකයකු කියා සිටියේ රටේ පවතින අර්බුදකාරී තත්වයත් කොරෝනා වසංගතයත් හේතුවෙන් මෙවැනි නේවාසික වැඩමුළු පැවැත්වීමට කිසිසේත්ම අවසර නොදෙන බවයි. එමෙන් ම වැඩමුළුවලට බව පවසමින් සිසු සිසුවියන්ගෙන් රුපියල් 1000.00ක මුදලක් අයකිරීම නීති විරෝධී බවද අමාත්‍යාංශය පවසයි.

මේ සම්බන්ධයෙන් මීපාවල අමරසූරිය විද්‍යාලයේ විදුහල්පති ජගත් කුලරත්නගෙන් විමසූ විට ඔහු එවැනි වැඩමුළුවක් සංවිධානය කර ඇති බව පිළිගත්තේය. ඔහු සමඟ ඇතිවූ දුරකථන සාකච්ඡාව මෙසේ ය.

rata.lk – විදුහල්පතිතුමා අමරසූරිය විද්‍යාලයේ ශිෂ්‍යනායකයන් වෙනුවෙන් නේවාසික වැඩමුළුවක් පවත්වනවා කියල ආරංචියි. ඒක ඇත්තක් ද ?

විදුහල්පතිතුමා – ඔව් ඔව් අපි කරනවා

rata.lk – ඒ වැඩමුළුවට එන්න බැරි ළමයින් ශිෂ්‍යනායක ධූරය හැරගියා සේ සළකනවා කියල ඔබතුමා ළමයින්ට යැවූ ලිපියක සඳහන් කරලා තියෙනවා.

විදුහල්පතිතුමා – නිහඬයි

rata.lk – ඒ වගේම වැඩමුළුවට එන ළමයින්ගෙන් රුපියල් 1,000.00ක් අය කරනවා කියන කතාවත් ඇත්ත නේද ?

විදුහල්පතිතුමා – රුපියල් 1,000.00 එකතු කරන්නේ මම නෙවෙයි. දෙමාපියන්.

rata.lk – මේ විදියට කටයුතු කිරීම වැරදියි නේද විදුහල්පතිතුමා. ඔබතුමාට මේ ගැන මොනවද කියන්න තියෙන්නේ.

විදුහල්පතිතුමා – නිහඬයි

තත්පර කිහිපයක නිහැඬියාවකින් පසු ඔහු දුරකථනය විසන්ධි කළේය. නැවත ඇමතුම් ගත්ත ද ඔහු ඒවාට පිළිතුරු දෙන්නේ නැත.

දෙමාපියන් ළමයින්ගෙන් මුදල් එකතුකරනවා යැයි කියා විදුහල්පතිවරයකුට තමන්ට ඇති වගකීමෙන් මිදිය හැකිද යන්න ගැටලුවකි. දෙමාපියන්ට පාසල් දරුවන්ගෙන් මුදල් එකතුකිරීමට අයිතිය දෙන්නේ නම් විදුහල්පතිවරයකු පාසලට අවශ්‍ය වන්නේ නැත. එය නීති විරෝධී ක්‍රියාවකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!