-5.2 C
New York

අමාත්‍ය මණ්ඩලයටත් නොකියා, ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම් මෙන්න

Published:

කැබිනට් මණ්ඩලයේ අනුමැතියකින් තොරව ඉන්දියාව සහ ශ්‍රී ලංකා‍ ආණ්ඩුව ගිවිසුම් තුනක් අත්සන් කර ඇති බවත් තවත් ගිවිසුමක් අත්සන් කිරීමට ඇති බවටත් විශාල ආන්දෝලනයක් හටගෙන තිබේ.

රාජ්‍යයන් දෙකක් අතර ගිවිසුම් අත්සන් කිරීමේ දී ඒ සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය අවශ්‍යවන අතර එලෙස අනුමැතියකින් තොරව ගිවිසුම් අත්සන් කිරීම රටේ ස්වෛරීත්වය අර්බුදයකට යොමුකිරීමකි.

මෙම ගිවිසුම් හතර හේතුවෙන් රාජ්‍යය සතු භූමියත්, ජනතාවත්, රජයේ ස්වාධිපත්‍යයත් අනතුරේ වැටී ඇති බවට දැනටමත් ආණ්ඩුවට චෝදනා එල්ල වෙමින් පවතී.

මේ වනවිට අත්සන් කර ඇති ගිවිසුම් තුන පසුව අනුමැතිය ලබා ගැනීම යන කොන්දේසිය යටතේ ආවරණ අනුමැතිය ලබාගන්නා බව පවසමින් අත්සන්කර ඇත. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පසුගිය දිනක ඉන්දියාවේ කරන ලද සංචාරයට පෙර මෙම ගිවිසුම් අත්සන් කළ යුතු බැවින් එවැනි තීරණයක් ගැනීමට සිදුව ඇතැයි කැබිනට් මණ්ඩලයට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති අමාත්‍ය මණ්ඩල සංදේශයේ “විස්තරය හා සාධාරණීකරණය” යන්නෙහි දක්වා ඇත.

පළමු ගිවිසුම – ඩෝනියර් යානා

ඉන්දීය රජය මගින් ශ්‍රී ලංකා රජය වෙත DO – 228 ඩෝනියර් නිරීක්ෂණ යානා සැපයීම යන මාතෘකාවෙන් ඉදිරිපත් කර ඇත.

නාවික හමුදාවෙහි ඇති සමුද්‍රීය ආවේක්ෂණ ශක්‍යතාව වැඩිදියුණු කිරීම සඳහා ඉන්දියාව වෙතින් ඩෝනියර් නිරීක්ෂණ යානා දෙකක් ලබාගැනීමට ඇති හැකියාව පිළිබඳ 2018 ජනවාරි 09 දින නවදිල්ලියේ දී ශ්‍රී ලංකාව සහ ඉනන්දියාව අතර පැවැති ආරක්ෂක සමුළුවේ දී ශ්‍රී ලංකාව විසින් විමසීමක් කර ඇත. ඒ සඳහා යහපාලන රජය කාලයේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී නැත.

කෙසේ වෙතත් මෙම යානා දෙකෙන් එකක් නාවික හමුදාවේ සමුද්‍රීය ආවේක්ෂණ කටයුතු සහ ශ්‍රී ලංකාව තුළ හා ඉන් පිටත පිරික්සුම් හා බේරාගැනීමේ කටයුතු සඳහාත්, ශ්‍රී ලංකාවේ අනන්‍ය ආර්ථික කලාපයෙහි නිරීක්ෂණ කටයුතු සඳහාත් යොදා ගැනීමට අපේක්ෂා කරන බව මේ අමාත්‍ය මණ්ඩල සංදේශයේ සඳහන් කර තිබේ.

කෙසේ වෙතත් එම යෝජනාවට සංශෝධිත යෝජනාවක් ඉන්දියාව පාර්ශවයෙන් ඉදිරිපත් වී තිබේ. එම සංශෝධනය අනුව යානා දෙකෙන් එකක් වසර දෙකකට පසු ප්‍රදානයක් ලෙස ලබාදීමටත් එතෙක් ඉන්දීය නාවික හමුදා යානා සමූහයේ සේවයෙ ්නියුතු යානයක් ලබාදීමටත්, අනෙක් යානය ඉන්දියාවෙන් ණය යෝජනා ක්‍රමයක් හරහා මිල දී ගැනීමටත් ඉන්දීය රජය යෝජනා කර ඇත.

ඉන්දියාවේ එම යෝජනාවට ආරක්ෂක අමාත්‍යාංශය පසුගිය මාර්තු 03 වැනි දා ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට සිය එකඟතාව පළකර තිබේ. මෙසේ ලබා දෙන පළමු ඩෝනියර් යානාවේ නඩත්තුව හා ශ්‍රී ලාංකික ගුවන් හා නාවික හමුදා නිලධාරීන්ට පුහුණු කිරීම සඳහා පස් දෙනකුගෙන් සමන්විත ඉන්දීය තාක්ෂණික නිලධාරීන් කණ්ඩායමක් මෙරටට එවන බවත් ඔවුන්ගේ වෛද්‍ය, නවාතැන්, දුරකතන, අන්තර්ජාල, ප්‍රවාහන ඇතුළු සෙසු වියදම් ශ්‍රී ලංකා රජය දැරිය යුතු ය යන්නත් කොන්දේසියකි.

ඩෝනියර් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් දෙරට අතර හුවමාරු ලිපියට අත්සන් තැබීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය නොගෙන මෙම ගනුදෙනුවට අදාළව ඉන්දීය මහ කොමසාරිස්වරයා ඉදිරිපත් කළ ප්‍රදාන ලිපියට ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් කමල් ගුණරත්න පසුගිය 15 වන දා අත්සන යොදා තිබේ.

2022 මාර්තු 18 දාතමයෙන් ආරක්ෂක ඇමති හැටියට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අස්සනින් ඉදිරිපත් කළ මෙම අමාත්‍ය මණ්ඩල සන්දේශයේ ඊට නිදහසට හේතු හැටියට දක්වා තිබෙන්නේ මුදල් ඇමති බැසිල් රාජපක්ෂ පසුගිය දා කළ ඉන්දීය සංචාරයට පෙර ලිපි හුවමාරුව කළ යුතු වූ බැවින් එවැනි තීන්දුවක් ගැනීමට සිදු වූ බව යි. ඒ අනුව මෙම ඩෝනියර් යානා ගනුදෙනුව සිදුව ඇත්තේ මුළුමනින් ම කැබිනට් මණ්ඩලය මගහැර අත්තනෝමතික ලෙස බව පැහැදිලි ය.

දෙවැනි ගිවිසුම – ටොන් 4000ක පාවෙන තටාකාංගනය

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අස්සනින් 2022 මාර්තු 18 දිනැතිව ‘ඉන්දියානු රජයේ මූල්‍ය අනුග්‍රහය මගින් ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහා ටොන් 4,000ක පාවෙන තටාකාංගණයක් අත් කර ගැනීම’ යන මාතෘකාව යටතේ ඉදිරිපත් කර ඇති අමාත්‍ය මණ්ඩල සන්දේශය ද එබඳුම තව ත් ගිවිසුමකි.

ශ්‍රී ලංකා නාවික හමුදාවට කොළඹ නැව් තටාකාංගන සමාගම මත යැපීමට සිදුවීම උපායමාර්ගිකව අවාසිදායක බව කියමින් පාවෙන නැව් තටාකාංගනයක් ඉදිකර ශ්‍රී ලංකා රජය වෙත ප්‍රදානයක් ලෙස ලබාදීම සම්බන්ධයෙන් ඉන්දීය රජය සමග ගිවිසුම්ගත වීමකට අදාළ කරුණු එහි සඳහන් වේ.

එම නැව් තටාකාංගනය ඉදිකිරීමේ කොන්ත්‍රාත් ගිවිසුම ශ්‍රී ලංකා රජය ඉන්දියානු ගෝවා නැව් තටාකාංගන සමාගම සමඟ 2022 මාර්තු 22 වන දා අස්සන් කිරීමට නියමිතව තිබිය ද ඊට පෙර මාර්තු 15 වන දා ඊට අදාළ ගිවිසුමට කල්තබාම දෙරටේ බලධාරීහු අස්සන් තබා ඇත. ශ්‍රී ලංකාව වෙනුවෙන් ආරක්ෂක අමාත්‍යංශ ලේකම් කමල් ගුණරත්න හා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ ඊට අස්සන් තබා තිබේ.

මෙම අස්සන් තැබීම සිදුකර ඇත්තේ ද කැබිනට් මණ්ඩලයේ ආවරණ අනුමැතිය යටතේ යන යොදමිනි.

ඉන්දියාව සමග එවැනි ගිවිසුම්ගත වීමක් වුවත් 2020 පෙබරවාරි 19 වන දා අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබුණේ පාවෙන තටාකාංගනය ජාත්‍යන්තර තරගකාරී ලංසු තැබීමේ ක්‍රමයට ඉදිකළ යුතු බවයි.

එසේ සියලු එකඟතාවලට පැමිණීමෙන් පසුව මාර්තු 18 දා ඉදිරිපත් කර ඇති මෙම අමාත්‍ය මණ්ඩල සන්දේශයෙන් ඉල්ලා ඇත්තේ කොන්ත්‍රාත් ගිවිසුම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් අස්සන් තැබීමට නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගෙතැන්නට බලය පවරන හැටියට යි.

මෙම ගිවිසුම සමග ලංකාවේ නාවික හමුදා යාත්‍රා ඇතුළු නාවික ආරක්ෂණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් බරපතළ මැදිහත්වීමක් කිරීමට ඉන්දියාවට හැකිවනු ඇතැයි විද්වත්හු පවසති.

තුන්වැනි ගිවිසුම – සමුද්‍රීය මුදා ගැනීම් මධ්‍යස්ථානය

සමුද්‍රීය මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය සපයා දීම, ස්ථාපනය හා අධිකාරිගත කිරීම යනුවෙන් අමාත්‍ය මණ්ඩල සන්දේශයක් ඉදිරිපත් කර ඇත.

ශ්‍රී ලංකාව තුළ සමුද්‍රීය මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් පිහිටු වීමට 2017 වසරේ අප්‍රේල් 26 දිනැති කැබිනට් මණ්ඩල තීරණය ක්‍රියාත්මක නොවීම උපුටා දක්වමින් මෙම ගිවිසුමට පසුබිම එහි විස්තර කර ඇත. ඒ අනුව ඉන්දියානු රජය ලබාදෙන අමෙරිකානු ඩොලර් මිලියන හයක අරමුදල් භාවිත කර මෙම මධ්‍යස්ථානය පිහිටුවීමට නියමිත අතර 2019 ඔක්තෝබර් 9 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය මගින් ඊට අනුමැතිය දී ඇත.

මෙම මධ්‍යස්ථානය පිහිටුවීම සඳහා තෝරාගෙන ඇති භාරත් ඉලෙක්ට්‍රොනික් ලිමිටඩ් යනු ඉන්දියානු ත්‍රිවිධ හමුදා සඳහා ඉලෙක්ට්‍රොනික් නිෂ්පාදන හා පද්ධති නිපදවන ඉන්දියානු ආරක්ෂක අමාත්‍යංශය යටතේ පවතින සමාගමකි. කල්තියා අස්සන් කර ඇති මෙම ගිවිසුම අතිදීර්ඝ එකකි. සෞභාග්‍යයේ දැක්මේ ජාතික ආරක්ෂාව පිළිබඳ විෂය අනුව මෙම මධ්‍යස්ථානය පිහිටුවන බව පැවැසුවද දේශපාලන විචාරකයන් චෝදනා කරන්නේ චීනයේ මැදිහත් වීම නිසා ශ්‍රී ලංකාවේ සාගර කලාපය සම්බන්ධයෙන් ඉන්දියාවට තිබූ භූ දේශපාලනික භීතිය මෙම මධ්‍යස්ථානය පිහිටුවීමේ යෝජනාවට පදනම වී ඇති බවයි.

සිව්වැනි ගිවිසුම – ඩිජිටල් අනන්‍යතා රාමුව (මෙතෙක් අත්සන් කර නැත)

සිවුවන ගිවිසුම ගැන සඳහන් වන්නේ තාක්ෂණ අමාත්‍යංශයේ ඉදිරිපත් කළ ‘ශ්‍රී ලංකා ඒකීය ඩිජිටල් අනන්‍යතා රාමුව ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දීය රජයේ මූල්‍ය පහසුකම් ලබා ගැනීමේ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම’ යන මාතෘකාවේන යුතුව අමාත්‍ය මණ්ඩල සන්දේශය ඉදිරිපත් කර තිබේ.

2019 දෙසැම්බර් මාසයේ දී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා හා නරේන්ද්‍ර මෝදි අගමැතිවරයා අතර වූ සාකච්ඡා පදනම් කරගෙන 2021 දෙසැම්බරයේ ඉන්දීය මහකොමසාරිස් සහතික කළ මූල්‍ය ප්‍රදානයක් මීට ලැබෙන බව සඳහන් කර ඇත.

එම මූල්‍ය පහසුකම් ලබා ගැනීමට ජනාධිපතිවරයා පසුගිය ජනවාරි 28 ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට පෙබරවාරි 7 වන දා කැබිනට් අනුමැතිය හිමි වූ බව එහි සඳහන් වේ. මෙම ඩිජිටල් පද්ධතියේදී ලේ වර්ගය, ඇඟිලි සලකුණු, මුහුණේ අනන්‍ය සලකුණු ආදී දත්ත ඒකරාශි කිරීමක් සිදුවන අතර එහි හොඳ නරක දෙක ම පවතින බව විචාරකයෝ පවසති. ඔවුන් වැඩිදුරට ත් පෙන්වා දෙන්නේ යහපත් අරමුණක් පෙන්වා අරඹන මෙම වැඩපිළිවෙළ මගින් ජාතියේ ම දත්ත පද්ධතිය ඉන්දීය ආරක්ෂක බුද්ධි සේවයට පහසුවෙන් අත්පත් කර ගැනීමේ අවදානම පවතින බව ය. කෙසේ වෙතත් මෙම ගිවිසුම මෙතෙක් අස්සන් කර නැති අතර ඊට අදාළ කෙටුම්පත සකසා තිබේ.

Related articles

Recent articles

spot_img