spot_img
spot_imgspot_img

පළාත් පාලනයට පත්වූ කාන්තාවන් ඇත්තට ම වැඩ කළා ද ? සමීක්ෂණයකින් හෙළි වූ කරුණු මෙන්න

පුවත්

විදෙස්

මෙරට පළාත් පාලන ආයතන සඳහා කාන්තා නියෝජනය 25%ක් අනිවාර්ය කළ ද රටේ කාන්තාවන් සඳහා සේවය කිරීම හෝ එම කාන්තා නියෝජිතයන් සඳහා හෝ සාධාරණයක් ඉටු වී නැතැයි පළාත් පාලන ආයතන කිහිපයක් ඇසුරින් ගැමි කාන්තා පෙරමුණ විසින් කරන ලද අධ්‍යයනයකින් අනාවරණය වී තිබේ.

ගැමි කාන්තා පෙරමුණ මෙම අධ්‍යයනය සිදුකර ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 05ක් ආශ්‍රිතවය. ඒ සඳහා ගාල්ල මහ නගර සභාව, බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාව, හික්කඩුව ප්‍රාදේශීය සභාව, අක්මීමණ ප්‍රාදේශීය සභාව සහ බද්දේගම ප්‍රාදේශීය සභාව යන පළාත් පාලන ආයතන යොදාගෙන තිබිණි.

එම අධ්‍යයනයෙන් අනාවරණය වී ඇත්තේ කාන්තා නියෝජනය 25%ක් වුව ද මෙම නියෝජිතවරියන්ට සභා රැස්වීමේ දී කතා කිරීමට පවා ලැබෙන අවස්ථාව කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවයි. එමෙන් ම සභා රැස්වීම්වල දී කතා කිරීමේ අවස්ථාව නිරන්තරවම එකම පිරිසක් විසින් ලබා ගන්නා බව ද ඔවුන් හැමදාමත් එකම කරුණු කතා කරමින් කැපී පෙනෙමින් කාලය කා දමන බව ද සමීක්ෂණය සිදුකළ ගැමි කාන්තා පෙරමුණේ වාර්තාවේ සඳහන් වෙයි. මේ හේතුවෙන් කාන්තා නියෝජනයට තම අදහස් ප්‍රකාශ කිරිමේ අවස්ථා පවා මඟ හැරී යයි.

සෑම විට ම සභාවේ සිටින කාන්තා නියෝජිතයන්ගේ ස්ත්‍රී පක්ෂයේ දුර්වලතා මතු කර පෙන්වන පිරිමි නියෝජිතයන් ඇය තුළ ඇති ගුණාත්මක තත්වයන් ඇගයීමට ලක් කරන්නේ නැත. සභාව තුළ පුරුෂ සමාජභාවීය සාධාරණත්වය ක්‍රියාත්මක වන්නේ නැත.

සෑම පළාත් පාලන ආයනයක ම කාන්තාවන්ට සංවේදීව ක්‍රියාත්මක වන ව්‍යාපෘති ලෙස සෞඛ්‍ය, අත්කර්මාන්ත, දේශීය ආහාර අළෙවි සැල්, පෙරපාසල්, ගෙවතු වගා වැනි ව්‍යාපෘති ඇතත්, එම ව්‍යාපෘති පවා කාන්තාවවනට සංවේදී මට්ටමින් ගොඩනැගුණු ව්‍යාපෘතිම යැයි හඳුන්වාදීමට හැකියාවක් නැති බව ද මෙම සමීක්ෂණයේ දී අනාවරණය වී තිබේ.

සෑම ගම්මානයක ම වෙසෙන බහුතරය කාන්තාවන් වුව ද කාන්තා නියෝජිතයන්ගෙන් හෝ කාන්තාවන් මූලික කරගත් යෝජනා ඉදිරිපත් වී නැතැයි ද ගැමි කාන්තා පෙරමුණ අවධාරණය කරයි.

ගැමි කාන්තා පෙරමුණේ සභාපතිනි ශ්‍රියානි පතිරගේ මෙසේ කීවාය.

“කාන්තා නියෝජිතයන්ට දැනුම ලැබිය යුතුයි. විශේෂයෙන් ම තාර්කික දැනුම ඇතිකරගත යුතුයි. ඔවුන් තවමත් සම්ප්‍රදායික රාමුවක ක්‍රියාත්මක වෙන බවක් පෙනෙන්නට තිබෙනවා. ඔවුන් ජීවත්වන සංස්කෘතික හා ආගමික පසුබිම නිසා සැඟවුණු ජාතිවාදියෙක් සිටින බවත් පෙනෙන්නට තිබෙනවා. ගතානුගතිකත්වය කෙටු වීම හේතුවෙන් ඉදිරියට යාමේ මාර්ගයකට තවමත් මොවුන් පිවිස නැහැ. සම්ප්‍රදාය කඩා බිඳ දමමින් ස්ත්‍රියක ලෙස සමාන සාධාරණ සමාජයක් ගොඩනැගී‍ම අභිමථාර්ථය කරගත් මන්ත්‍රීවරියක් මොවුන් තුළින් දක්නට නොමැතිවීමේ ගැටලුවක් තිබෙනවා. නමුත් දැන් ටිකෙන් ටික කාත්තා නියෝජිතවරියන් තමන්ගේ යුතුකම, වගකීම සහ හැකියාව තේරුම්අරගෙන කටයුතු කරන බවක් පෙනී යනවා.”

කාන්තාවන් වෙනුවෙන් සම්ප්‍රදායිකව පවත්වාගෙන එන මැහුම්, අත්කම් , විසිතුරු භාණ්ඩ නිර්මාණය, කේක් පාඨමාලා, කෑම සෑදීම හැරුණු විට වර්තමාන තාක්ෂණික අධ්‍යාපනයට අවශ්‍ය නව කර්මාන්ත කෙරෙහි පළාත් පාලන ආයතනය අවධානය යොමුකර ඇති බවක් පෙනෙන්නට නැත. ඇතැම් අවස්ථාවල දී කාන්තාවන්ට සංවේදී කාරණා පිළිබඳ කතා කළ ද ඒ සඳහා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම ප්‍රමාණවත් නැත.

ගැමි කාන්තා පෙරමුණ පවසන්නේ කාන්තා නියෝජිතවරියන් ගෙන එන යෝජනාවලට සභාවේ දී යොමුවන්නේ අඩු අවධානයක් බවයි. ඇතැම් විට එම යෝජනා අනුමත වන්නේ ද නැත. ඒවා ඉබේම යටපත් වී යයි.

මේ සම්බන්ධයෙන් සැකසූ වාර්තාව ගැමි කාන්තා පෙරමුණේ සභාපතිනි ශ්‍රියානි පතිරගේ විසින් පසුගිය දා දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගම‍ගේ වෙත ඉදිරිපත් කර තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!