බොරතෙල් තොග අවසන්වීම හේතුවෙන් ලබන 20 වැනි දා සිට සපුගස්කන්ද තෙල් පිරිපහදුව දින නියමයක් නොමැතිව වසා දැමීමට සිදුවන බව තෙල් වරාය විදුලි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධාන පවසයි
එහි මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත ප්‍රකාශ කළේ බොරතෙල් ආනයනය කිරීමට ද කිසිදු වැඩපිළිවෙලක් නොමැති නිසා සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ සේවා කටයුතු නැවත ආරම්භ කරන දිනයක් ගැන කිසිදු සැළැස්මක් ද නැති බවයි.
එසේ තෙල් පිරිපහදුව වසා දැමීම හේතුවෙන් ගුවන් යානා ඉන්ධන සහ භූමිතෙල් ද ආනයනය කිරීමට සිදුවෙයි. එමෙන් ම විදුලි නිෂ්පාදනය සඳහා අවශ්‍ය දැවිතෙල් ලබා දීමට ද නොහැකි වීම බරපතල ගැටලුවකට හේතුවනු ඇත.
තෙල් පිරිපහදුව වසා දැමුව ද එහි නඩත්තු කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට සිදුවන බැවින් සේවකයන්ට අතිකාල දීමනා ගෙවීමට සිදුවන බවත් අතිකාල දීමනා සහ වැටුප් සඳහා මාසයකට රුපියල් කෝටි 16ක පමණ මුදලක් වැයවන බවත් ආනන්ද පාලිත කියා සිටියේය.